Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අපනයන ඉලක්ක සපුරා ගැනීමේ වැඩපිළිවෙලක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරි වර්ෂ වලදී ඉලක්කගත අපනයන ආදායම උපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හා වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙලෙහි ආරම්භය සනිටුහන් කරමින් වෙළෙඳ භාණ්ඩ අපනයනය පිළිබඳ කමිටුවේ පාර්ශ්වකරුවන්ගේ රැස්වීම පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කරන ලදී.

“රජයේ හා පෞද්ගලික අංශයේ අපනයනකරුවන් සියළු දෙනා ඒකාබද්ධ කරමින් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත රජයේ ගෞරවයත් ස්තුතියත් පුද කළ යුතුයි. මහ බැංකු අධිපතිතුමා සඳහන් කළ පරිදි මහ බැංකුවේ සාම්ප්‍රදායෙන් බැහැරව මෙවැනි වැඩසටහනනක් සඳහා ක්‍රියාත්මක වීම අගය කළ යුතු වනවා.

කොවිඩ් වසංගතය හමුවේ ලෝක ආර්ථිකය පෙර නොවූ විරූ පරිදි ඔත්පල වී තිබෙනවා. චීනය හැර අනෙකුත් රටවල් ආර්ථික සංකෝචනයකට මුහුණ පා තිබෙනවා. සැපයුම් ජාලය අඩපණ වීම වැනි තත්වයන් සඳහා මෙම කොවිඩ් වසංගතයෙන් ඇති කර ඇති බලපෑම, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝක ආර්ථිකයට ඇති වූ බලපෑමට වඩා වැඩි බව ලෝක ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.

නමුත් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝක ආර්ථිකයේ ඇති වූ පසුබෑම හමුවේ ගත යුතු ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා ආර්ථික විශේෂඥයන් සමඟ සාකච්ඡා කර ලෝකයටම බල පවත්වන පරිදි ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිහි කර තිබෙනවා. නමුත් ඊටත් වඩා දරුණු කොවිඩ් වසංගත තත්වය හමුවේ මේ වන තෙක් එවැනි ජාත්‍යන්තර විසඳුමක් හෝ ලෝක ආර්ථිකය සම්බන්ධ සංවාදයක් හෝ ඇතිවී නැහැ.

එබැවින් මේ ඇතිව ඇති තත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පවත්නා සම්ප්‍රදායෙන් පිටතට ගොස්, පුද්ගලික හා රාජ්‍ය අංශ වල දායකත්වයෙන් යුත් අපනයන ප්‍රවර්ධනය සඳහා පුළුල් සංවාදයක් ඇති කිරීමට කටයුතු කර තිබෙනවා. අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි වීම, ගෙවුම් ශේෂය හා විදේශ සංචිතයන්ගේ ඇති වූ වෙනස්කම් කෙසේ වුවත් දේශීය නිෂ්පාදකයන් හා අපනයනකරුවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී සහනයක් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඉතා දුෂ්කරතාවයකින් වුවත් විනිමය අනුපාතය මේ මට්ටමට පවත්වා ගැනීම ද අගය කළ යුතුයි. ඊට අතිරේකව අපනයනකරුවන් ලෙස විවිධ අමාත්‍යාංශ වල අන්තර් සම්බන්ධතාවයක් ඇති කොට කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබෙනවා. භාණ්ඩ විවිධාංගීකරණය, වෙළෙඳපොල විවිධාංගීකරණය, අපනයන නවීකරණය හා නවෝත්පාදන අගය වැඩි කරමින් කටයුතු කිරීම සඳහා විශේෂඥ දැනුම භාවිත කරමින් මෙම වර්ෂය තුළ මෙන්ම ඉදිරි වර්ෂයන් සඳහා ද අපනයන සංවර්ධන සැලැස්ම නිසි ලෙස පවත්වා ගත යුතු වනවා.”

අපනයනකරුවන් වශයෙන් රජයේ අමාත්‍යාංශ වල කාර්යභාරය නිසි ලෙස සම්බන්ධීකරණය කරමින් පවත්වා ගැනීමේ අරමුණින් පැවති මෙම වෙළෙඳ භාණ්ඩ අපනයනය පිළිබඳ කමිටුවේ පාර්ශ්වකරුවන්ගේ රැස්වීමේ ප්‍රධාන සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක විසින් සිදු කරනු ලබන අතර මෙම කමිටුවේ සභාපතීත්වය වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දරනු ලැබේ.

එමෙන්ම මෙම කමිටුව මාස දෙකකට වරක් රැස්වීම සඳහා කටයුතු සම්පාදනය කර ඇත. පළමු රැස්වීමේදී ඉදිරිපත් වූ කරුණු පිළිබඳ සැලකිල්ලට ගනිමින් සති දෙකකින් නැවත මෙම කමිටුවේ සාමාජිකත්වය දරණ විෂයභාර අමාත්‍යවරුන් හා ලේකම්වරුන්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතය.‍

පොල් ආශ්‍රිත අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඇති වී ඇති බාධා සම්බන්ධයෙන් ද ක්‍රියාමාර්ග ගැනීමට නියමිත වන අතර මෙමඟින් අපනයන ආදායම් වර්ධනය කර ගැනීම සඳහා මේ වන විට ඒකාබද්ධව කටයුතු කරනු ලබන අංශයන් කිහිපයකි.

  • රෙදිපිළි හා ඇඟළුම්
  • මැණික් හා ස්වර්ණාභරණ
  • රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන
  • තේ
  • පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන
  • මුහුදු ආහාර
  • සුළු කෘෂිකාර්මික හා කුළුබඩු

මෙම අංශයන්ගේ දායකත්වයෙන් යුතුව මෙම වර්ෂය තුළ අපනයන ආදායම වර්ධනය කර ගැනීම සඳහා දියත් කළ වැඩපිළිවෙල මඟින් ඉලක්කගත ආදායම් සපුරා ගැනීම සඳහා කටයුතු කෙරෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය හිටපු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, .ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා ඇතුළු නිළධාරීන් ද, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද දේශීය ව්‍යවසායකයින් හා නිෂ්පාදනකරුවන් පිරිසක් ද  සහභාගී වී සිටියහ.

Scroll to Top