වෙන්නප්පුව හා ඒ අවට මුහුදු වෙරළ ආශ්රිතව ජීවත්වන රැකියා විරහිත අසරණ ජනතාවගෙන් වැඩිදෙනා ස්වයං රැකියාවක් ලෙස මේ දක්වා කරගෙන ආවේ හාල්මැස්සා, සූඩයා, සාලයා වැනි සතුන් අඩු මිලට ගෙන ඒවා අව්වේ වේළා කරවල කර එයින් කීයක් හෝ සොයාගෙන තම ජීවිතය ගැටගසා ගැනීමයි.
මේ ජනතාව දිනපතාම මේ පුංචි මසුන් අඩු මිලට මිල දී ගැනීම සඳහා බෝට්ටු හිමියන් වෙත ගොස් ඔවුනට සහාය වී එම පුංචි මසුන් අඩු මිලට හෝ නොමිලේ ගෙන මේ සුපුරුදු රැකියාව කරගෙන යන බව අප කළ විමසීමකදී ඔවුහු පැවැසූහ.
වෙන්නප්පුව ප්රදේශයේ මහ මුහුද අයිනේ වියන ලද පොල්අතු කිහිපයක් බිම එළාගෙන ඒ මත පුංචි සාල පැටවුන් වේළමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයකුගෙන් මේ රැකියාව පිළිබඳ විස්තර ඇසූ විට ඔහු මෙසේ පැවසීය.
“මහත්තයෝ අපට කියල ස්ථිර රැකියාවක් නැහැ. අපට බෝට්ටු ගන්න සල්ලිත් නැහැ. අපට බැංකුවලින් ණයක් දෙන්නෙත් නැහැ. ඒත් අපිත් දේශපාලන බලධාරීන් හා මහා පරිමාණයේ ධීවර බෝට්ටු හිමියන් සේම මේ රටේ යමක් කාල බීල ජීවත්විය යුතු පිරිසක්.
ඒත් අපේ දුක බලන්න කව්රුත් නෑ. කියන්න කෙනෙකුත් නෑ. ජාති පක්ෂ ආගම් භේද කිසිත් නොසලකා ජනතාවට සේවය කරන බව කියා බලයට එන කිසිම රජයකින් අපි වගේ පොඩිවුන්ට සහනයක් සලසන් නෑ.
හැබැයි මේ සියලුම භේද නැතිව තමයි අපි යම් රජයක් බලයට පත් කරන්නෙ. අපි ඒ අයව බලයට පත්කරන්න ගහන කතිරයට දුප්පත් පෝසත් භේදයක් නෑ.
බලයට පත්වූ අය කෝටිපතියන් වෙද්දි අපිව පාරෙ යන දූවිලි තරමටවත් ගණන් ගන්න කෙනෙක් නෑ. මේ පුංචි මාළු වේළන රැකියාව නොකරන්න අපි බඩගින්නේ මැරෙනවා. මේ පොඩි මාළු ටික හොයාගන්න නොගන්නා උත්සාහයක් නෑ.
ඒව ගෙනත් සුද්ධ කරල වේළන්න දානව කිලෝ එකක් රුපියල් 50කට විතර මිල දී ගෙන අව්වේ වේළා දින 7කින් විතර ගමේ කඩවලට විකුණල කීයක් හෝ හොයා ගන්නවා.
කිලෝ එකක් රුපියල් 300කට විතර විකුණ ගත්තොත් අපට ඇති. ඒත් වර්ෂාවත් සමඟම අපි අන්ත අසරණ වෙන අවස්ථා තියෙනවා. මේවා ගබඩාකර තබාගන්න අපට තැනක් නැහැ. ඒ නිසා ඉතාම අමාරුවෙන් තමයි මේක කරගෙන යන්නේ.”
සුනිල් ප්රනාන්දුපුල්ලේ – වෙන්නප්පුව (dinamina)