Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

Q-Shop වෙළෙඳසැල් ජාලයේ දෙවන අලෙවිසැල විවෘත කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

Q-shop දාම වෙළෙඳසැල් ජාලයේ දෙවන අලෙවිසැල ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ගුණත්වයෙන් ඉහළව නිෂ්පාදනය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දේශීය නිෂ්පාදනකරුවන් වෙනුවෙන් වෙළෙඳපොල සැකසීමත්, පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරමින් පාරිභෝගිකයා වෙත භාණ්ඩ ලබා දීමට රජයේ මැදිහත්වීම සිදු කිරීමත් අරමුණු කරගනිමින් මෙම Q-shop දාම වෙළෙඳසැල් ජාලය බිහි කරන ලද බවයි.



එමෙන්ම මෙමඟින් ඇති වන ස්වජාතික ව්‍යාපාර අවස්ථා සම්බන්ධව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලද අතර දැනට අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් වශයෙන් පළමු Q-shop විස්ස කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇති කරනු ලබන බව ද ප්‍රකාශ කරන ලදී.

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා නිසි නියාමනයක් සහිතව ඉදි වන මෙම Q-shop අලෙවිසැල්, ඉදිරියේදී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ ව්‍යවසායකයින් වෙත ද අත්පත් කරදීමට කටයුතු සලසා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩ කරන රටක් බිහි කිරීමේ උදාරතර ක්‍රියාන්විතයට උර දීමක් වශයෙන් තරුණ ව්‍යවසායකයින් බිහි කිරීමටත්, සාධාරණ වෙළෙඳාමේ නිරත වෙමින් දේශීයත්වයට පණ පොවන හා පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කෙරෙන වෙළෙඳපොල අවකාශයක් බිහි කිරීමට සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තරුණ ව්‍යවසායකයින් නිර්මාණය කරමින් බිහි වන මෙම Q-shop අලෙවිසැල් ජාලය ව්‍යාප්ත වීමත් සමඟම Q-Delivery සේවාව ද ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.



එමෙන්ම විරැකියාව අවම කර දේශීයත්වයට ඉඩ සලසමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ඇතුළු නිලධාරීන් ද, සතොස, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන වල සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටිහය.

Scroll to Top