Aboutceylon Online

මූල්‍ය සහ වෙළඳ අභියෝග වලට ඉන්දියාවේ සහාය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ප්‍රථමයෙන්ම මා ඔබ සැමට සහ ශ්‍රී ලංකාවේ අපගේ සියලු මිතුරන්ට සුබ නව වසරක් වේවායි සුබ පැතීමට කැමතියි. ශ්‍රී ලංකාවට නැවතත් පැමිණීමට ලැබීම සහ ඔබ සැම මුණගැසීමට ලැබීම මට මහත් සතුටක්. ඉන්දියාව සමඟ වසර දහස් ගණනක ශිෂ්ටාචාරමය බැඳීම් පවතින මෙම සුන්දර දිවයිනට පැමිණීමට ලැබීම සැමවිටම වෘත්තීමය වශයෙන් මෙන්ම පෞද්ගලිකවත් මට ඉමහත් ප්‍රීතියක් ගෙන දෙන කරුණක්.

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනයට සහ මා සහ මාගේ නියෝජිත පිරිස සැබෑ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් මා විදේශ අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා. එතුමා මා හට මෙම ආරාධනාව සිදු කළේ වසරකට පමණ පෙර ඉන්දියාවට පැමිණි අවස්ථාවේදීයි. නමුත්, කොවිඩ් වසංගතය හේතුවෙන් මෙයට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට මට හැකි වූයේ නැහැ. එසේ නමුත්, ඉන්දියාවේ සමීපතම සමුද්‍රීය අසල්වැසි සහ සහකාර රාජ්‍යය වෙත සංචාරයකින් 2021 වසර ආරම්භ කිරීමට ලැබීම මට සතුටක්.

මා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අප දෙරටම කොවිඩ්-19 වසංගතය විසින් මතු කර ඇති අසීරු සහ පොදු අභියෝගයන්ට මුහුණ දී ඇති අවස්ථාවකයි. එසේ නමුත් කොවිඩ් වසංගතය අපට වඩාත් සමීප සහයෝගීතාවයකට අවස්ථාව ලබා දී ඇතැයි මා සිතනවා. අපගේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය පිළිබඳව සිහි කිරීමේදී, ඉන්දියාව නිසි කලට වෛද්‍ය ආධාර ලබා දීම මගින් කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා ප්‍රයත්නයන්ට සහයෝගය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිරව සිටි ඉන්දියානු ජාතිකයන් නැවතත් මව් රටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලබා දුන් සහයෝගීතාවයටද මා කෘතවේදීත්වය පළ කිරීමට කැමතියි. අප දැන් පශ්චාත් කොවිඩ් සහයෝගීතාවය පිළිබඳව අවධානය යොමු කර තිබෙන අතර ඉන්දියාවෙන් කොවිඩ් එන්නත් ලබාගැනීමට ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන බවට වන පණිවුඩය මා මාගේ රටට රැගෙන යනවා.

එසේම කොවිඩ් වසංගතය අපගේ ද්විපාර්ශවික සහයෝගීතාවය පළුදු කිරීමට සමත් වී නැති බව දක්නට ලැබීම සුබවාදී කරුණක්. ඉහළ පෙළ සබඳතා සැබවින්ම පසුගිය වසර තුළ ශක්තිමත් වූ අතර අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුව අපට 2020 වසරේ සිදුවූ අතිශය වැදගත් සිදුවීමක්.

අද උදෑසන මා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුණා. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යතුමා සහ මා මීට සුළු මොහොතකට පෙර අපගේ සාකච්ඡා අවසන් කළා.

එහිදී අප අපගේ සහයෝගීතාවයේ ප්‍රගතිය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අද සවස මා අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වීමට අපේක්ෂා කරනවා. අප දෙරටට පොදු ප්‍රජාතාන්ත්‍රීය සම්ප්‍රදායන් අනුව අනෙකුත් වැදගත් දේශපාලන සහ ප්‍රජා නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

මා ව්‍යාපාරික ප්‍රජාව හමු වීමට ද නියමිතයි. ඉන්දියාව අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය උනන්දුව, අන්‍යෝන්‍ය ගරුත්වය සහ අන්‍යෝන්‍ය සංවේදීතාවය මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සැමවිටම සූදානමින් පසුවන විශ්වාසදායි සහකරුවකු සහ මිතුරකු වන බවට  වන පණිවිඩය මා ඒ සැමටම  ලබා දෙනවා.

මේ වන විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයෙන් පසුව යථා තත්වයට පත් වීමේ අභියෝගයට මුහුණ දී තිබෙනවා. මෙය මහජන සෞඛ්‍ය ගැටළුවක් පමණක් නොව ආර්ථික අර්බුදයක් ද වෙනවා. ඉන්දියාව පිළිබඳව සැලකීමේදී, අපගේ කොවිඩ් රෝගීන් ගණන තියුණු ලෙස පහත වැටී තිබෙන අතර නුදුරේදීම ජනතාව එන්නත් කිරීමට අපේක්ෂිත බව ඔබ දන්නවා. ඉන්දීය ආර්ථිකයද පසුගිය මාස කිහිපය තුළ යථා තත්වයට පත් වීමේ ශක්තිමත් ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

මීළඟ කාර්තුව වන විට ආර්ථිකය තවදුරටත් යථා තත්වයට පත් වනු ඇතැයි අප දැඩිව විශ්වාස කරනවා. මෙම කරුණු ශ්‍රී ලංකාව කෙරෙහි ද සුබවාදී බලපෑමක් ඇති කරනවා. එසේම, අප අවධානය යොමු කළ යුතු නිශ්චිත මූල්‍ය සහ වෙළඳ අභියෝග තිබෙනවා. මාගේ සංචාරයේ අරමුණ මෙම ක්‍රියාදාමයට පහසුකම් සැලසීමයි.

එවන් පැහැදිලි සහක්‍රියාවන් ඇති සමීප අසල්වාසී රාජ්‍යයන් දෙකක් වශයෙන් අපගේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට පවතින හැකියාව අති විශාලයි. එයින් සමහරක් කඩිනම් සහන ලබා දීමට උපකාරී වනු ඇති; තවත් සමහරක් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉතා සුබවාදී මධ්‍ය කාලීන බලපෑමක් ඇති කරනු ඇති. යටිතල පහසුකම්, බලශක්තිය, ප්‍රවාහනය යනාදි විවිධ ක්ෂේත්‍රයන්හි යෝජනා රැසක් සාකච්ඡා මට්ටමේ පවතිනවා.

දෙරටම එ්වා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන අතර එ තුළින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වේගවත් වනු ඇති. ඉන්දියානු ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් දක්වන බව මා ප්‍රකාශ කිරීමට කැමතියි. ඖෂධ නිෂ්පාදනය සඳහා විශේෂ කලාප සහ සංචාරක කර්මාන්තය ඇතුළු වැදගත් අවස්ථාවන් පිළිබඳව අප සාකච්ඡා කර තිබෙනවා. ඒවා පිළිබඳව කඩිනම් පසු විපරමක් සිදු කිරීමට මා සහතික වෙනවා.

සමාජීය, ප්‍රජා සහ මානව සම්පත් ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ සංවර්ධන සහකරුවකු ලෙස ඉන්දියාවට මනා ඉතිහාසයක් තිබෙනවා. මහා පරිමාණ නිවාස ව්‍යාපෘතීන් හෝ ගිලන්රථ සේවා, උරුමයන් සංරක්ෂණය හෝ අධ්‍යාපනය යන කවර ක්ෂේත්‍රයක හෝ අපගේ සහයෝගීතාවයන් දිවයින පුරා සිටින ජනතාවගේ ජීවිතවලට සැබෑ වෙනසක් එක් කර තිබෙනවා.

අපගේ ණය ආධාර සාමාන්‍ය තත්වය ප්‍රතිස්ථාපනය කරමින් නැවතත් ජනතාව අතර සම්බන්ධතාවය ගොඩනඟා තිබෙනවා. කෘෂිකර්මය සහ තාක්ෂණය, අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය සහ නාගරික සංවර්ධනය ඇතුළු ශ්‍රී ලංකා රජයේ දේශීය ප්‍රමුඛතාවයන් සම්බන්ධයෙන් අප දැනුවත්. විශේෂයෙන්ම, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා රජය වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට ලබා දෙන වැදගත්කම අපට වැටහෙනවා. අප අපගේ අනාගත ප්‍රයත්නයන්හිදි ස්වභාවයෙන්ම මෙම ප්‍රමුඛතාවයන් සැලකිල්ලට ගන්නවා.

කලාපයේ සාමය සහ සුබ සිද්ධිය ප්‍රවර්ධනය කරන අතරතුර ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමඟිය, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාවය උදෙසා දැඩි කැපවීමකින් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ සහ ජනවාර්ගික සමඟිය දිරිමත් කෙරෙන, සියලු පාර්ශවයන් ඇතුළත් වන  දේශපාලන දැක්මක් සඳහා අප දිගු කලක සිට සහයෝගය දක්වා තිබෙනවා.

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය සඳහා දමිළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම ශ්‍රී ලංකාවට අයත් කාර්යභාරයක්. එය 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු අර්ථවත් බලය බෙදීමක් සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීමටද එක සේ අදාළයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සෞභාග්‍යය ඉහළ නැංවෙනු ඇති.

ඉන්දීය සාගරයේ සමුද්‍රීය රටවල් වශයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සහතික කිරීමට එක ලෙස උනන්දු වෙනවා. මෙම සහයෝගීතාවය සම්බන්ධයෙන් අපට දිගු ඉතිහාසයක් තිබෙනවා. හදිසි අවස්ථාවන්හිදි ඉන්දියාව ප්‍රථම ප්‍රතිචාරකයා වී තිබෙනවා. මෙම සහයෝගීතා ක්ෂේත්‍රය ඉදිරි කාලයේදී තවදුරටත් පුළුල් වනු ඇති බව මට විශ්වාසයි. වර්ධනය වන සමුද්‍රීය සහ ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාවන් ඉහළ නැංවීමට අප සූදානමින් සිටිනවා.

ධීවර ගැටළුව සම්බන්ධයෙන් කතා කිරීමේදී, ඒ සම්බන්ධයෙන් වන ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම මෑතකදී රැස් වූ බවත් විවෘත සහ ඍජු ලෙස සියලු ධීවර ගැටළු සාකච්ඡා කළ බවත් ඔබ දන්නවා ඇති. අප අපගේ ධීවරයන් කඩිනමින් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මැතිතුමාව අද සවස හමු වෙනවා.

ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සමුළුවේ නායකත්වයට පත් වී ඇති අතර ශ්‍රී ලංකාවේදී මීළඟ බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමට අප දැඩි උනන්දුවකින් පසු වෙනවා.

මා නැවතත් මා මිත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට මා හට ශ්‍රී ලංකාවට පැමිණීමට ලබා දුන් අවස්ථාව සම්බන්ධයෙන් සහ අර්ථවත් සහ අනාගත දැක්මක් සහිත සාකච්ඡාවන් සම්බන්ධයෙන් මාගේ කෘතඥතාවය පළ කරනවා.

ඔබ සැමට බොහොම ස්තූතියි!

 

Scroll to Top