කොවිඩ් – 19 වයිරසයෙන් පෙරපාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට 2021 ජනවාරි මස ආරම්භ කිරීමට නියමිත දිවයින පුරා පෙරපාසල්වල සිටිනා දරුවන් සහ ගුරුවරුන් සඳහා නොමිලේ මුඛ ආවරණ බෙදා දීමට සැලසුම් කර ඇති බවත් එහි පළමු අදියර ලෙස උතුරු මැද, උතුර සහ බස්නාහිර පළාත්වල පෙරපාසල් දරුවන් සහ ගුරුවරුන් සඳහා මුඛ ආවරණ 20,000ක් දීමට සූදානම් බවත් අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසුවේය.
“කොවිඩ් – 19 වයිරසයෙන් මේ වන විට වසා දමා ඇති පෙර පාසල් අපි 2021 ජනවාරි මස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එම දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි විවිධ සැලසුම් ක්‍රියාත්මක කරමින් මේ වන විට සිටිනවා.
ඒ අනුව සොල්ව් පදනමේ නිර්මාතෘ බවධරණී රාජසිංහ මහත්මිය විසින් අපට නොමිලේ මුඛ ආවරණ 20,000ක් පරිත්‍යාග කළා. අපි ඒවා උතුරු මැද, උතුර සහ බස්නාහිර පාළාත්වල පෙරපාසල් දරුවන් සහ ගුරුවරුන් සඳහා පළමු අදියර ලෙස බෙදා දීමට සූදානම්.
ඉන් අනතුරුව අපි ඉදිරියේදී දිවයින පුරා පෙරපාසල් සඳහා මුඛ ආවරණ බෙදා දීමට සැලසුම් කර තිබෙනවා.”