Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවූ උඳුවප් පුර පසළොස්වක පොහෝය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි සිදුවීම් කිහිපයක් වාර්තා වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අද⁣ට යෙදී තිබේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

උඳුවප් සීතල සිරිමා බෝ ඉතිහාසය සිහිගන්වයි.

ලිඛිත ඉතිහාසයක් සහිතව ලොව ඇති පැරණිම වෘක්ෂය අනුරාධපුර මහ‍මෙවුනා උයනේ පිහිටි අප ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ය.

බුද්ධ වර්ෂ 236 දී මෙරටට වැඩමකර වූ උන්වහන්සේ මෙරට පූජනීයත්වයේ මුදුන් මල්කඩ සේ ම ආගමික,ජාතික,සාමාජීය , දේශපාලන හා සංස්කෘතික ආදී සෑම අංශයකින් ම අති උතුම් පූජනීය වස්තුව වේ.

එසේම අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින ලෝක ධාතුවෙහි ඇති ආශ්චර්යමත් ජීවමාන වස්තුවකි.

දේවානම් පියතිස්ස රජ දවසේ සිට අද දක්වා ඒ අනුහස සිරිලක් ධරණීතලය පුරා බලපවත්නේ ය. සිදුහත් මහ බෝසතාණන් වහන්සේට සියලු කෙලෙසුන් පරදා ලොව්තුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීමට සෙවණ ලබාදෙමින් මහෝපකාරී වූ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව නේරංජන ගඟ අසබඩ බුද්ධගයා භූමියේ පිහිටියේ ය.

මුල දී අස්වත්ථ හෙවත් ඇසතු වූ මෙම වෘක්ෂය බෝසතාණන් වහන්සේ සම්‍යක් සම්බෝධියට පත්වීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමින් හැඳීන්විය.

ජය ශී‍්‍ර‍ මහා බෝධීන් වහන්සේ සතුව ඇත්තේ අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත් ඤාණය තුළින් පිළිබිඹු කළ අනන්ත බුදුගුණ මහිමයේ ශක්තියයි.

සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව බුද්ධත්වය ලබා ගැනීම සඳහා උපකාරී වූ බෝධීන් වහන්සේ උදෙසා දක්වන පූජෝපහාරයක් (අනිමිසලෝචන පූජාව)ලෙස සත් සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ ඇසිපිය නොහෙළා දින හතළිස් නමයක් බලා හි¼දීමෙන් බුදුන් සතු මහා ශක්තිය උන්වහන්සේගේ නේත්‍රාවන්ගෙන් රන්වන් බෝ කඳට අන්තර් ග්‍රහණය කළ බව අප තේරුම් ගත යුතු සත්‍යයි.

මේ නිසා මුළුමහත් බොදු ජනතාව ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා පූජෝපහාර දක්වයි.

ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා රෝපණ මංගල්ලය සිදුකළේ බුද්ධ වර්ෂ 236 වැන්නෙහි දෙවන පෑතිස් මහ රජුගේ මූලිකත්වයෙන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසිනි.

මේ වන විට උන්වහන්සේගේ සම්පූර්ණ ආයුෂ අවුරුදු 2530 කි.

මහ මෙවුනාවේ රෝපණයකර දැනට වසර 2450කි. එදා මෙදාතුර නොයෙකුත් අව්, වැසි, කුණාටු දුර්භික්ෂ යුද ගැටුම් කලකෝලාහල මැද මහ විහාරීය භික්ෂූන් වහන්සේ සමඟින් රාජ රාජ මහාමාත්‍යාදීන් ද, බොදු ජනතාව ද බෝ සමිඳු නිරුපද්‍රිත ව ආරක්ෂා කරගැනීම කෘතඥතාපූර්වක ව ස්මරණය කළයුතු ය.

Scroll to Top