Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උතුරු මැද  බඩඉරඟු වගාව ආශ්‍රිතව සේනා සීඝ්‍ර පැතිරීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
 බඩඉරඟු වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹු ව්‍යාප්තිය පාලනය සඳහා හදුන්වා දුන් නව වෛරස් ප්‍රබේදය කඩිනමින් ගොවි ජනතාවට අතට පත් කරන්න යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා  උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.
සේනා දළඹුවා මර්ධනය කිරීමට  නව වෛරසයක් හදුන්වා දුන් බව පැවසූවද මෙතෙක් තමන්ට එම වෛරසය ලබා දී නැති බවත්, තවමත් තම හේන් පුරාම සේනා දලඹු සේනාවන් නිමාවක් නොමැතිව පැතිර යන බවත් අනුරාධපුර එප්පාවල, නල්ලමුදාව ප්‍රදේශයේ ගොවීන් සිදු කරන චෝදනාව සම්බන්ධයෙන්  මහවැසි මැද සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එම ගොවිබිම් වෙතම ගොස් සොයා බැලීම සිදු කරනු ලැබීය.
එහිදී ගොවීන් අමාත්‍යයවරයාට දළඹුවන් හානි කර ඇති තම වගාවන් පෙන්වමින් කියා සිටියේ, දළඹුවන් විශාල වශයෙන් තම හේන් අක්‍රමණය කරමින් වගාවට හානි කරන බවයි, බඩ ඉරඟු ගසේ බොඩයේ සිට, කොල දක්වාම ආහාරයට ගන්නා දළඹුවන්ට කෘමි නාශක යෙදුවද මර්ධනය කළ නොහැකි බව ඔවුන් පෙන්වා දුන්හ.
වගා ණය ආදිය ලබා ගෙන අක්කර ගණනක් වගා කළ තමන්ගේ බඩ ඉරඟු හේන් වල අස්වැන්න නිසි ලෙස නෙලා ගැනීමට  මේ දළඹු ව්‍යාප්තිය හේතුවෙන් නොහැකි වෙතැයි බියක් පවතින බවද ගොවීන් පැවසීය.මේ සඳහා මැදිහත් වන ලෙස අමාත්‍යයවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටියහ.
ඒ අනුව අදාල හේන් කීපයක් නිරීක්ෂණය කළ අමාත්‍යයවරයා ඒ අවස්ථාවේදීම දුරකථනය ඔස්සේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිළධාරීන් අමතා කඩිනමින් නව වෛරස් ප්‍රබේදය එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයට ලබා දී දළඹු හානිය මර්ධනය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියහ.
මේ දිනවල පවතින වර්ෂාව හමුවේ වෛරසය මුදා හැරිය නොහැකි බව නිළධාරීන් පැවසූ බවත්, වර්ෂාව අවසන් වූ වහාම වෛරසය නල්ලමුදාව ගොවීන් වෙත ලබා දෙන බව නිළධාරීන් පැවසූ බවත් අමාත්‍යයවරයා ගොවීන්ට පැවසීය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,
මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේනා දළඹුවා මගින් විශාල බඩඉරඟු අක්කර ප්‍රමාණයකට හානියක් සිදු වෙලා තියෙනවා. ගොවි ජනතාවගේ විශාල ඉල්ලීමක් වුණා සේනා දළඹු හානිය සඳහා යම්කිසි සාධාරණයක් සිදු කරන ලෙස, වන්දි මුදලක් හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සඳහා මැදිහත්වීමක් වෙන්න කියලා.ඒක නිහතමානී හා අහිංසක ඉල්ලීමක්.
ගොවි ජනතාව මේ වගාවත් එක්ක තමයි තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ.පහුගිය කාළය පුරා පැවති ඉඩෝරය හමාර කරලා ඇඳ හැලුණු වර්ෂාවත් එක්ක විශාල බලාපොරොත්තුවක් තිබුණා ජනතාවට.
ඒ නිසා ඉතාම කඩිනමින් මේ සේනා දළඹු මර්ධනය සඳහා සොයා ගත් වෛරසය අදේශන පවත්වලා, ඉතාමත් ඉක්මනින් සාධාරණ විසඳුමක් ලබා දෙන්න කියන ඉල්ලීමක කරනවා.ඒ වගේම කෙසේ හෝ දැනට වගා හානී සිදු වෙලා තියෙන ගොවි බිම් සඳහා , කෘෂිරක්ෂණ මණ්ඩලය හරහා වන්දි ලබා දීමට කටයුතු කරන ලෙස අදාළ නිළධාරීන්ට මතක් කර සිටින බවද පැවසීය.
එප්පාවල නල්ලමුදාව හා මාවතවැව යන ගම්මානයන්හී අක්කර 100 කට වැඩි ප්‍රමාණයක මෙවර බඩ ඉරඟු වගා කර ඇත, නල්ලමුදාව ගම්මානයේ බහුතරයක් ජනතාව ගොවි තැනින් ජීවිතය සරි කරගන්නා දුෂ්කර ගම්මානයකි.
මහවැලි ජලය නොලැබෙන එම ගම්වාසීන් අහස් දියෙන් වගා කරනු ලබයි.මාස් කන්නයේ පමණක් හොදින් වැසි ලැබෙන බැවින් ගොවීන් නල්ලමුදාව ගම්මානයේ ගොවින් මාස් කන්නයේ වැඩි බිම් ප්‍රමාණයක් වගා කරනු ලබයි.
මෙවර වැසි ලැබීමත් සමඟින් සුපුරුදු පරිදී තම හේන් වල පැවති යටි කැලෑව සුද්ධ කර ගිණි තබා, පොළව පෙරළා බිම් සකසා බඩ ඉරගු ඇට හිටවා ඇත්තේ දහසක් බලාපොරොත්තු මැදයි.
බොහෝ දෙනෙකු පොලියට ලබා ගත් මුදලින් මෙන්ම ඇතමෙකු කණ කර උකසට තබා ලබා ගත් මුදලින් බඩ ඉරඟු බීජ හා තෙල් පොහොර මිලට ගෙන මෙම වගා කටයුතු වල නිරත වී ඇතත් බඩ ඉරඟු වගාවට මසක් ගත වන විටම දළඹු උවදුරක් හේතුවෙන් වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත.
මෙම දළඹු විශේෂය බඩ ඉරඟු ශාකයේ පත්‍රවල සිට ගොබය දක්වා ආහාරයට ගන්නා බව ගොවීන් පේනවා දෙන අතර, ඒ හේතුවෙන් ඉතා කෙටි කාළයක් තුළ බඩ ඉරඟු ශාඛ සම්පූර්ණයෙන්ම විනාශ වන බවද ගොවීන් පෙන්වා දුන්හ.
එක් දළඹුවකු විශාල වශයෙන් බිත්තර දමන බවත් ඒවායෙන් පැමිණෙන දළඹුවන් හේන් යාය පුරාම පවතින බඩ ඉරඟු පැළ විනාශ කරන බවද ගොවීන් කනස්සල්ලෙන් යුතුව පැවසීය.මෙම දළඹුවන් පත්‍ර ඇතුළුව ගොබයම අහාරයට ගන්නා අතර, ඒ හේතුවෙන් පත්‍ර සුදු පැහැ ගැන්වෙන බවද ගොවීන් පවසති.
තම වගාවන් මාස එක හමාරක කාළය පසු කර ඇති බවත් සේනා දළඹු හානිය මර්ධනය සඳහා ගත්  එකදු ක්‍රමවේදයක්වත් සාර්ථක හෝ ප්‍රතිඵලදායි නොමැති බවට ගොවීන් පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවි ගෙවිලියන් කියා සිටින්නේ ගම්මානයේ අක්කර ගණනාවක් පුරා කර ඇති බඩ ඉරඟු වගාවන් සම්පූර්ණයෙන්ම සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශ වී ඇති බවයි.එක පැත්තකින් තෙල් ගහගන ගිහින් අනෙක් පැත්තෙන් එන කොට ආපහු දළඹුවා පැතිරිලා තියෙනවා.
දුප්පත් ගොවියෝ තමයි බඩ ඉරඟු හේන් කරන්නේ.අවුරුද්දකට එක පාරයි අපි බඩ ඉරඟු හිටවන්නේ.ඒ ලැබෙන ලාභයෙන් තමයි අවුරුද්දක්ම ජීවත් වෙන්නේ.
ඒ නිසා රජයෙන් අපි ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් සොයා බලා ගොවීන්ට සහනාධාරයක් ලබා දෙන්න, නැත්නම් මේ විනාශ වෙමින් යන වගා බිම් වලට මේ අලුතින් හදුන්වලා දුන්න වෛරස් එක හරි ලබා දෙන්න කියලා.මොකද මේ හැටි තෙල් ගහන්න අපිට සල්ලි නෑ.වෛරස් එකක් හොයා ගත්තා කිව්වට අපිට නම් තාම ලැබුනේ නෑ, කඩවල් වලවත් ගන්න නෑ.පැකට් එකක් 280 ක් වෙන කෘමි නාශකයක් ගැහුවා.
ඒකට යම් මර්ධනයක් තියෙනවා.හැබැයි ඒක දවස් 05 න් 05ටවත් ගහන්න වෙනවා.මොකද දළඹුවා මැරුණත් බිත්තර ගස් වල තිබිලා ආයේ දළඹුවෝ හැදෙනවා.
මේ විදිහට දළඹුවෝ හානි කරන නිසා ගගස් වල වර්ධනයකුත් නෑ.රේඩියන්ට්, කොරජන් දෙපාරක් විතර ගහලා තියෙනවා.අක්කරයකට තෙල් ටැංකි 30 ක් විතර යනවා.එක ටැංකියකට තමයි 280 ක්විතර වියදම් වෙන්නේ.
දැන් එක එක ජාති ගැහුවා.දැන් අපිට තෙල් ගහලාම එපා වෙලා තියෙන්නේ.අපිට දැන් වහ බොන්න තමයි වෙලා තියෙන්නේ.හොයා ගත්තා කියන වෛරස් එක අඩුම තරමේ වෙළඳපලට හරි නිකුත් කරනවා නම් අපිට සල්ලි වලට හරි ගන්න පුළුවන්.මේ වෙලාවේ බේර ගත්තේ නැත්නම් වගාවෙන් වැඩක් නෑ, ඒ නිසා දළඹු මර්ධනයට හොයා ගත්ත වෛරසය අපිට කඩිනමින් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ යැයි පැවසීය.
Scroll to Top