Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

චීනය මේ සතියේ සඳ තරණය කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

චීනය විසින් මෙම සතියේදී චන්ද්‍රයා වෙත මිනිසුන් රහිත අභ්‍යවකාශ මෙහෙයුමක් ඇරඹීමට සූදානමින් සිටින බව පවසයි. මෙම මෙහෙයුම හරහා චන්ද්‍රයා මතුපිට ඇති පාෂාණ කිහිපයක් පෘථිවිය වෙත යළි රැගෙන ඒම අරමුණ වී තිබේ. ඒ අනුව 1970දශකයෙන් පසුව පෘථිවියේ ස්වභාවික චන්ද්‍රිකාව වන සඳෙහි සාම්පල ලබාගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරන පළමු වැනි අවස්ථාව බවටත් මෙය පත්ව ඇතැයි චීනය සඳහන් කරයි.

මෙහිදී chang’e-5 ලෙස මෙම යානය නම් කර ඇත. චීන පුරාවෘත්තවල සඳහන් සඳ දේවතාවගේ නම අනුව මෙම යානයට නම් යොදා තිබේ. මෙලෙස රැස් කරගන්නා පාෂාණ කොටස මගින් සඳෙහි බිහිවීම සහ සකස්වීම සම්බන්ධයෙන් වඩා වැඩි අවබෝධයක් විද්‍යාඥයන්ට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි චීන බලධාරින් සදහන් කරයි.

මේ අතර මෙම මෙහෙයුම මගින් අභ්‍යවකාශයේ දුර ඈත ස්ථානයක පිහිටි සාම්පල රැස් කරගෙන යළිත් පෘථිවියට රැගෙන ඒම සම්බන්ධයෙන් චීනය සතු හැකියාව පරික්ෂාවට ලක් කරන්නක් බවත් පැවසෙයි. විශේෂයෙන්ම චීනය ඉදිරීයේදී ඇරඹීමට සැලසුම් කර ඇති වඩාත් සංකීර්ණ අභ්‍යවකාශ මෙහෙයුම්වලට පෙර මෙය වැදගත් අවස්ථාවක් බව සඳහන් වෙයි.

යම් ලෙසකින් මෙම සාම්පල රැස්කිරීමේ මෙහෙයුම සාර්ථක වුවහොත්, චීනය සඳෙහි සාම්පල නැවත පෘථිවිය වෙත රැගෙන ආ තෙවැනි රට බවට පත්වෙයි. මීට පෙර එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය දැනට දශක කිහිපයකට පෙරාතුව මෙම සමත්කම දක්වා තිබේ.

එක්සත් ජනපදයේ නාසා ආයතනය මගින් 1969 සිට 1972 කාලය තුළදී අවසන් වරට ක්‍රියාත්මක කෙරුණු ඇපොලෝ වැඩසටහන යටතේ මෙහෙයුම් 6ක් මගින් චන්ද්‍රිකා වෙත ගගනගාමින් 12දෙනෙකු යැවීමටත් සඳමත තිබූ කිලෝ ග්‍රෑම් 382ක් පමණ බර පාෂාණ කොටස් සහ පස් සාම්පල පෘථිවියට රැගෙන ඒමට සමත්ව තිබුණි. එසේම 1970 දශකයේදීම සෝවියට් සමූහාණ්ඩුව මගින් ක්‍රියාත්මක කළ ලූනා 24 මෙහෙයුම මගින් සඳෙහි සාම්පල ග්‍රෑම් 170.1ක් රැගෙන ඒම සිදුවිය.

Scroll to Top