කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යෑමේ ආරම්භක පියවර එල්පීඑල් තරගාවලිය බව එම තරගාවලියේ අධ්යක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය. මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරගාවලි සාර්ථකත්වයට විශාල රුකුලක් වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.
“කොවිඩ් වසංගතය නිසා ලංකාවට එන්න තිබුණු සංචාර 7ක් අපිට අහිමි වුණා. ජූලි මාසේ වෙනකොට කොරෝනා අවදානමෙන් ගැලවිලා හිටියේ. ඉතින් ඒක නිසා එදා ඉඳලා අපි මේ තරගාවලිය සූදානම් කළා. එසේ සූදානම් කරලා අපි දිගටම වැඩ කරගෙන ආවා. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වෙද්දි අපි අන්තර්ජාතිකව ටෙන්ඩර් කැඳවලා මේ සියලු දේවල් පිළිබඳ තීරණයක් අරගෙන තිබුණේ.” ඔහු කීවේය.
තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයන් මෙන්ම නිලධාරීන් ද මේ වනවිට ග්‍රෑන්ඩ් උඩවලවේ සහ ෂැන් ග්‍රි ලා හෝටල්වල ආරක්ෂිත අයුරින් නවාතැන් ගෙන සිටින බවත්, සියලු පුද්ගලයන් එම ජෛව බුබුලු ආරක්ෂිත වළල්ලට ඇතුළත්වීමෙන් පසු පීසීආර් පරික්ෂණ දෙකකට පෙනී සිටිය යුතු බවත් ඔහු කියා සිටියේය.
මේ තරගාවලියට විස්සයි20 තරග බිමේ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රීඩා නොකිරීම ඔහුගේ තනි තීරණයක් බවද රවීන් වික්‍රමරත්න මහතා කියා සිටියේය. “මේ තරගාවලියට සහභාගි නොවීම ඔහුගේ තනි තීරණයක්.
ඉතින් ඒකට අපි ගරු කරන්න ඕන. අපිට බල කරන්න බෑ ඔහුට ගහන්න කියලා. ඒක ඔහුගේ සම්පූර්ණ නිදහස. මොකද ඔහු අයිපීඑල් එකටත් ගියේ නැහැනේ.”