අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය මේ වන විට මැණික්හින්න හූරිකඩුව විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
උන්වහන්සේට අවසන් ගෞරව දක්වීම සඳහා මහා සංඝරත්නය ඇතුලු විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වන මහ නායක හිමියන් ලෙසයි නාපානේ පේමසිරි නා හිමියන් හැඳින්විය හැකි වන්නේ. 1923 වසරේ ජනවාරි මස 20 වනදා මහනුවර නාපාන ග්‍රාමයේදී ටිකිරි බණ්ඩාර නමින් උපත ලැබූ උන්වහන්සේ 1933 වසරේ පැවදි දිවියට ඇතුලත් වුණා.
1967 වසරේදී හුරිකඩුව විද්‍යා සාගර පිරිවෙන ආරම්භ කිරීමට මූලික වූ උන්වහන්සේ එමගින් ගිහි පැවදි විශාල පිරිසකට අධ්‍යාපනය ලබාදීමට සමත්වුණා.
එමෙන්ම දෙස් විදෙස් ධර්ම සංගායනාවේ නිරත උන්වහන්සේ රටවල් කිහිපයකම ගෞරව සම්මානයට පාත්‍ර වූ බුද්ධ පුත්‍රයෙකු ලෙසද හැදින්විය හැකියි.
අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 22 වනදා කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.