Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සරසවි ප්‍රවේශ කඩයිම් ලකුණු වලට මොකද වූනේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
2019 වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා බඳවාගැනීමේ කඩයිම් ලකුණු සීමා තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. 2019 අගෝස්තු මස පැවැත්වූ උසස්පෙළ විභාගය අවසන්ව මාස 13කට අධික කාලයක් ගතව ඇතත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තමන් සුදුසුකම් ලබා ඇත්ද යන්න තහවුරු වීමක් නොමැති  නිසා අද වන විට එම සිසුන් මහත් පීඩාවකට පත්ව ඇත.
අධ්‍යාපන අමාත්‍යවරුන්ද ඇතුළුව මෙරට අධ්‍යාපන බලධාරීන් විසින් විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම නිසා වසරක් පාසා උසස් පෙළ සමත් සිසුහු මෙම ගැටලුවට මුහුණදෙමින් සිටිති. මෙවර එය තවත් සංකීර්ණ වී ඇත. එයට හේතුව වන්නේ පසුගිය 2019 වර්ෂයේ උසස්පෙළ ප්‍රතිඵල නිකුත්කිරීමේදී සෑම විෂය ධාරාවක්ම පැරණි සහ නව නිර්දේශ සිසුන් ලෙස කාණ්ඩ 2ක් යටතේ පෙළගස්වා ප්‍රතිඵල නිකුත් කිරීමයි.
ප්‍රතිඵල නිකුත්කල ආකාරය නිවැරදි වුවත් පැරණි සහ නව නිර්දේශ ලෙස එක් එක් කාණ්ඩයෙන් එක් එක් දිස්ත්‍රික්ක සඳහා කොපමණ සිසුන් බඳවා ගන්නේදැයි දළ වශයෙන් හෝ අනුමාන කිරීමේ හැකියාවද අද සිසුන්ට නැතිවී ඇත.
එවන් තත්වයක් යටතේ 2020 උසස්පෙළ සඳහා දැනටමත් දින නියමවී ඇති තත්වයක් තුල නැවත විභාගයට පෙනීසිටිනවාද නැද්ද යන්න පිළිබඳ තෝරාගත නොහැකි තත්වයකට සිසුන් පත්ව ඇත. උසස්පෙළ විභාගය මාස කිහිපයකට පසුපසට ගිය තත්වයක් තුල හෝ ඊට පෙර කඩයිම් ලකුණු ඉදිරිපත් කිරීමට නොහැකිවීම පිළිබඳව අධ්‍යාපන බළධාරීන් වගකිවයුතුය.
මෙලෙසම මතුවී ඇති තවත් ගැටලුවක් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට දෙවනුව ඇති, එනම් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලබන සිසුන් ඇතුලත් විය හැකි පාඨමාලා සඳහා ඇතුලත්කරගැනීම් සම්බන්ධව මේ වනවිටත් කටයුතු ආරම්භ වී තිබීමයි. උසස් තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලා (NDT) , ජාතික තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලා (NDT) ආදී පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම් දැනටමත් ආරම්භකර ඇත.
මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි වීමෙන් පසු තමන් සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව දැනගැනීමට හැකි වුවද, එම ලියාපදිංචිය අවලංගු කර සරසවියට ප්‍රවේශ විය නොහැකි බවට නීතීමය ප්‍රතිපාදන පවතින බැවින් සිය තෝරාගැනීම කුමක් විය යුතුද යන්න පිළිබඳව අවසන් තීන්දුවක් ගත නොහැකිව සිසුන් අසරණභාවයට පත්ව ඇත.
ඉහත සඳහන් ගැටලුකාරී තත්වයන් මෙන්ම සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීමට නියමිත සිසුන් නැවත උසස්පෙළ විභාගය සඳහා පෙනීසිටීම නිසා එහිදී සැලකියයුතු වෙනසක් සහිත ප්‍රතිඵල ලැබීම සමග පසුකාලයේදී මුහුණ දීමට නියමිත ගැටලු පිළිබඳවත්, සිසුන්ගේ ජීවිතයේ වටිනාම කාලයෙන් වසරකට වැඩි කාලයක් නිකරුණේ අපතේ යෑම පිළිබඳවත් අප දිගින් දිගටම අදාල බලධාරීන් සමග සාකච්ඡා කර ඇත්තෙමු.
එහෙත් අද වනතෙක් මේ පිළිබඳව නොසලකාහැරීම නිසා තවදුරටත් සිසුන් පීඩාවට පත්වෙමින් සිටියි. එහෙයින් මේ සම්බන්ධව ඉක්මන් අවධානය යොමුකර විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු කඩිනමින් නිකුත්කිරීමට පියවර ගන්නා ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අපි අධ්‍යාපන අමාත්‍යවරයාට අවධාරණය කර සිටිමු.
ජාතික සංවිධායක – සමාජවාදී ශිෂ්‍ය සංගමය
Scroll to Top