Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සරලම තැනින් පටන් ගන්න ලොකු වෙනසක් කරන්න පිළිවන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

”සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03 ක්.

කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතමින් පැවසීය.

සියලූ රාජ්‍ය ඇමැතිවරු රැුස්වීමට එක්ව සිටියහ. පසුගියදා ආරම්භ කළ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය හා කාර්යභාරය සමාලෝචනය තව සති 03 කින් පමණ අවසන් කළ හැකි වෙතැයි පැවසු ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ වසර කිහිපයක් තුළ හඳුනාගත් ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකිවන අයුරින් යයි සඳහන් කළේය.



”ඔබටම පැහැදිළි ඇති මේ අමාත්‍යාංශවලින් කොපමණ වැඩ ප‍්‍රමාණයක් කළ හැකිද යන්න” පොදු ප‍්‍රතිපත්තියක් මත ඇමැතිවරයා සමග එකඟත්වයෙන් වැඩ කරන්න වගකීම භාර දී තිබෙනවා. ජනතා අපේක්ෂා ඉටුකිරීම අපේ යුතුකමක්. නිලධාරීනුත් හවුල්කරගෙන ඔබේ වගකීම ඉටුකරන්න” ජනාධිපතිවරයා රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

සැලැස්මක් ඇතිව ඉදිරි වැඩ කළයුතු බව කියා සිටි ජනාධිපතිවරයා වසරින් වසර කළ හැකි ප‍්‍රමාණය තක්සේරු කොට පස් අවුරුද්දටම සැලසුම් සකස් කරන්නැයි පැවසීය.

” හරි සර්, සියල්ල හරි කියා නිලධාරීන් කියන්න පිළිවන්, ඒ සැලසුම් තියෙන්නේ ෆයිල් එකේ. සැලසුම් ෆයිල් එකේ තියලා ඵලක් නැහැ. ඒවා බිමට ගේන්න ඕනෑ. ඒ තමයි රාජ්‍ය ඇමැතිවරයාගේ වගකීම” ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වෙනසක් කරන බවට ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුව සිහිපත් කළ ජනාධිපතිවරයා වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට සපථ කළේය. ”ඒ වගකීම මට තිබෙනවා, ඔබටත් තිබෙනවා, ඊට අමතරව ඔබේ දේශපාලන ජීවිතය හැඩගස්වා ගැනීමටත් මෙය අවස්ථාවක්” රාජපක්‍ෂ මහතා කියා සිටියේය.



ජනාධිපතිවරයා රාජ්‍ය ඇමැතිවරුන් හමුවේ කළ කතාවේ දී අධ්‍යාපනය, කෘෂිකර්මය, තාක්ෂණික නවෝත්පාදන, නිවාස සම්පාදනය, ජල සැපයුම, නගර සංවර්ධනය, ජීවන වියදම වැනි ක්ෂේත‍්‍ර ගණනාවක් ගැන අදහස් දැක්වීය.

”සමහර කුඹුරු පුරන් වෙලා. ඒවායේ වී වගා කරන්න බැහැ. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අපි අනුමැතිය දුන්නා පුරන් කුඹුරුවල වෙනත් භෝග වගා කරන්න. ඒ ආකාරයට පොල් වගා කරන්නත් පිළිවන්” ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මසකට වරක්වත් රාජ්‍ය ඇමැතිවරු හමුවී අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව කී ජනාධිපතිවරයා ඉදිරියට යන විට උද්ගතවන ප‍්‍රශ්න විසඳා ගැනීමට ඉන් අවස්ථාව ලැබෙනු ඇතැයි සඳහන් කළේය.

Scroll to Top