Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා නැවතත් ලංකාවෙන් බිහිවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත්වීමට ශ‍්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.

ජර්මනියේ ඩොසොව්හි පැවැති ඇන්හාල්ට් ජර්මන් ජාත්‍යන්තර තරගාවලියේදී මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව යුපුන් අබේකෝන් ජයගත්තේ තත්පර 10.16 ක දක්ෂතාවක් වාර්තා කරමින්. එය නව ශ‍්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

යුපුන් හමුවේ බිඳ වැටුණේ  ශ‍්‍රී ලංකාවේ  හිමාෂ ඒෂාන් විසින් තත්පර 10.22කින් තබා තිබූ වාර්තාවය.

මේ තරගයේදී ජර්මනියේ මීටර් 100 ඉසවුවේ ශූරයා වන ඩෙනිස් අල්මාස් 25 හැවිරිදි යුපුන් හමුවේ පරාජයට පත් වීම කැපී පෙනිණි. අල්මාස් තත්පර 10.18කින් තරගය නිම කරමින් දෙවැනි ස්ථානයට පත් වූ අතර, ජර්මනියේම මියිකල් පෝල් (10.41) තෙවැනි ස්ථානයට පත් විය.



පන්නල ජාතික පාසලෙන් සහ වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලෙන් ක්‍රීඩා පිටියට පිවිසි යුපුන්ගේ මින් පෙර හොඳම පෞද්ගලික කාලය තත්. 10.51කි.

එය පසුගිය අගෝස්තුවේදී තත්.10.29 දක්වා ගෙන දියුණු කර ගැනීමට සමත් වූ ඔහු පසුගිය වසරේ නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර් 100 සහාය ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් ද විය.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නව දකුණු ආසියානු තරග වාර්තාවක් (තත්.39.14) බිහි කිරීම ද කැපී පෙනිණි.

වසර 2015දී ශිෂ්‍යත්වයක් ලබා ඉතාලියේ පදිංචියට ගිය යුපුන් එහි නේවාසික පුහුණුවීම්වල නිරතව සිටින අතර, ඔහුගේ අරමුණ වී ඇත්තේ ලබන වසරේ ජපානයේ ටෝකියෝහිදී පැවැත්වෙන ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමයි.



එම ක්‍රීඩා උලෙළේ පරිසාදන මට්ටම ඉක්මවා යෑමට මීටර් 100 ඉසව්ව තත්පර 10.05කට අඩු කාලයකින් නිම කළ යුතුව තිබේ.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් යුපුන්ට සුබ පැතුම් එක් කර තිබිණි. මේ විශිෂ්ට ජයග්‍රහණය සියලු ලාංකිකයන්ට ආඩම්බර විය හැකි අවස්ථාවක් බව ද ඇමැතිවරයා සටහන් කර තිබිණි.

Scroll to Top