Aboutceylon Online

ඉදිරි වසර 10 තුළ 80% ක් පුනර්ජනනීය බලය මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා තම අමාත්‍යංශයට අදාළ සුනිත්‍ය බලශක්ති අධිකාරි කාර්යාලයේ හා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

අදාළ ආයතන ද්විත්වයෙහිම පසුගිය කාළයේ සිදු කළ ව්‍යාපෘතින් හා ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ජා කළ අමාත්‍යයවරයා නව වැඩසටහන් සඳහා නිළධාරීන්ට යෝජනා කීපයක් ඉදිරිපත් කරනු ලැබීය.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව පළමුව සිය අමාත්‍යංශ නිළධාරීන් සමඟ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා, අනතුරුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා ඇති සුනිත්‍ය බලශක්ති අධිකාරී කාර්යාලය වෙත ගොස් එහි සභාපති එල්.එච් රංජිත් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන් සමඟ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ජා පැවත්වීය.

එහිදී අමාත්‍යයවරයා කියා සිටියේ ඉදිරි වසර 10 තුළ 80% ක් පුනර්ජනනීය බලය මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේ ජනාධිපතිතුමන්ගේ  බලාපොරොත්තුව සඳහා සියලු දෙනාගේ සහයෝගය තමන් බලාපොරොත්තු වන බවයි.ඒ සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා විදුලි බල මණ්ඩලය එක්ව කටයුතු කළ යුතු බවද අමාත්‍යයවරයා පෙන්වා දුන්හ.

මේ දිනවල පවතින විදුලි අර්බුධයට හේතුව විදිහටත් පෙන්වා දෙන්නේ විදුලි බල පද්ධතියේ මෙගාවොට් 600 ක් විසන්ධි වෙලා තියෙනවා. සුනිත්‍ය බල ශක්තියෙන් එන ප්‍රමාණයන් එක එක ප්‍රමාණ නිසා   බලාගාර දාන්න බැරි වෙලා තියෙනවා.ඒ වගේ ගැටලු ඇති විය යුතු නෑ, සුනිත්‍ය බල ශක්තිය අත්‍යවශ්‍ය නිසා විදුලි බළ මණ්ඩලයත් සුනිත්‍ය බළ ශක්ති අධිකාරියත් එකම ගමනක් යා යුතුව තිබෙනවා.ඒ නිසා තියෙන ගැටලු වගේම ඒවාට විසදුම් ටිකත් ඔබතුමන්ලා දෙන්න.ඒ සඳහා අවශ්‍යය ක්‍රමවේදය හදා දෙන්න මම සූදානම්.



ඒ වගේම සූර්ය බල ශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදී පාසල් ගොඩනැගිලි වල වහල යොදා ගනිමින් ව්‍යාපෘතියක් ඇති කිරීම කෙරෙහිද නිළධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස අමාත්‍යයවරයා යෝජනා කරනු ලැබීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යයවරයා කියා සිටියේ,

ඒ වගේම සූර්ය බල පද්ධති අලෙවි කරන ආයතන හතු පිපෙනවා වගේ බිහි වෙනවා, සමහර වෙලාවට මේ ආයතන අවුරුද්දෙන් දෙකෙන් නැති වෙනවා.ඊට පස්සේ ඒ පද්ධති අලුත්වැඩියා කර ගන්න බැරි වුණාම, ගැටලු ඇති වුණාම ඒ විශ්වාසය නැති වුණාම ජනතාවට මේ අලුත් තාක්ෂණික ක්‍රමවේද එපා වෙනවා.

ඊට පස්සේ ජනතාවට මේවා හුරු කරන්න අපහසු වෙනවා.ඒ නිසා අපි වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි මේ ආයතන දිගටම තියා ගන්න,සූර්ය බල පද්ධතියට අවුරුදු විස්සක වගකීම් කාලයක් දීලා ආයතන අවුරුද්දෙන් වැහිලා ගියොත් පාරිභෝගිකයාට විශ්වාසය නැති වෙනවා.ඒ නිසා අපි වැඩපිළිවෙලක් හදන්න ඕන, සූර්ය බල පද්ධති ප්‍රචලිත කරනවා වගේම කොහොමද මේ විශ්වාසය රැකලා දෙන්නේ කියලා.

ඒ ව‍ෙගේම නීතී රීතී – අණ පනත් ගලේ කෙටුවා වගේ තියාගන්න ඕන නෑ, ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන, ලිහිල් වෙන්න ඕන, දැඩි වෙන්න ඕන, ඒ නිසා අපි මේ පනත නිසා මේවා කරන්න බෑ කිය කිය ඉඳලා බෑ, ඔබතුමන්ලා අවශ්‍යය විදිහට, අවශ්‍ය දේවල් යෝජනා කරන්න පනත් වෙනස් කරන්න අවශ්‍යය කටයුතු මම කරලා දෙන්නම්.‍ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන තැනට යන්න අපි හැමෝම කටයුතු කරමු යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



අනතුරුව ඔරුගොඩවත්ත පිහිටි පරමාණුක බලශක්ති මණ්ඩල කාර්යාලයට ගිය අමාත්‍යයවරයා පළමුව එහි නිළධාරීන් අමතා කියා සිටියේ  පළමුව අපි වෙනස් වී මේ රට වෙනස් කරන්න එකතු වෙමු යනුවෙනි.අනතුරුව ආයතනයේ කාර්ය භාරය එහි සභාපති එස්.අර්.ඩී රෝසා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන් අමාත්‍යයවරයා වෙත පෙන්වා දුන් අතර, ආයතනයේ පසුගිය කාළයේ සිදු කළ ව්‍යාපෘති හා ඒවායේ ප්‍රගතිය මෙන්ම ඉදිරියේ සිදු කිරීමට යෝජිත වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද අමාත්‍යයවරයා සමඟ සාකච්ජා කරනු ලැබීය.

ඉන් අනතුරුව පරමාණුක බලශක්ති මණ්ඩලයේ පර්යේෂණාගාරයන්හී නිරීක්ෂණ චාරිකාවකටද අමාත්‍යයවරයා එක් විය.

Scroll to Top