ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණදෙන ඕනෑම බෝවන රෝග වසංගතයකදී හෝ සෞඛ්‍ය අභියෝගයකදී ඊට සාර්ථකව මුහුණ දීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත් කෙරේ.
ඒ යටතේ දිවයිනේ තෝරාගත් රෝහල් ගණනාවක දැඩි සත්කාර ඒකක කඩිනමින් සංවර්ධනය කිරීමේ මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
මෙම වැඩපිලිවෙල යටතේ සංවර්ධනය කරන ගම්පහ මහ රෝහලේ ඊට අදාල කටයුතු මේ වන විටත් ඇරඹී ඇත.
යම් රෝගී තත්වයක් නිසා රෝහල්ගතවී රෝගය උත්සන්න වීමෙන් පසු කොළඹට රෝගියා ප්‍රවාහනය කිරීම නිසා ඇතිවිය හැකි අහිතකර තත්වයන් වලක්වාලීම මෙම වැඩපිලිවෙලේ මූලික අරමුණයි.
ඊට අමතරව යම් බෝවන රෝගයක් වැලදීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට රෝගියා කොළඹට ප්‍රවාහනය කිරීමේදී එක ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකයට බෝවන රෝගය ව්‍යාප්තවීමට ඇති සීමිත ඉඩකඩ හෝ අහුරා දැමීමට මෙමගින් පහසුකම සැලසේ.
මෙසේ කොළඹින් පිටත රෝහල්වල දැඩි සත්කාර ඒකක නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමෙන් පසු අනාගතයේදී මුහුණදීමට සිදුවන ඕනෑම සෞඛ්‍ය අභියෝගයකදී ඊට සාර්ථකව මුහුණ දීමට රටක් වශයෙන් ශ්‍රී ලංකාවට වැඩි හැකියාවක් ලැබෙන බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
මේ අතර සංවර්ධනය කිරීමට අවශ්‍ය දිවයිනේ සෙසු රෝහල්වල දැඩි සත්කාර ඒකක පිලිබඳවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කරමින් සිටින බව වෛද්‍ය බණ්ඩාර මහතා කියයි.