Aboutceylon Online

පනස් වසක් ඉක්ම ගිය අතීතයෙන්…..

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මගේ පාර්ලිමේන්තු දේශපාලනයට දැන් වසර පනහක් වුවද මගේ ක්‍රියාකාරී දේශපාලන ජීවිතය අවුරුදු 55කටත් වඩා වයසය. මගේ පියාගේ අභාවයත් සමග එවක ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩානායක මැතිනිය මා බෙලිඅත්ත ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ධුරයට පත් කළේ 1967 වසරේය.

බොහෝ දේශපාලන වන දුර්ග, ගිරි දුර්ග, මරු කපොලු, තැනිතලා සමබිම්, කඳු ප්‍රපාත පසුකර සොඳුරු දසුන්, බියකරු සිදුවීම් මැද කදු මුඳුනට පැමිණි මට දැන් ඒ මාවත දෙස ආපසු හැරී බැලිය හැකිය. ඒ මාවතට ගල් මෙන්ම මල් ද පාව ආවේය. කීර්ති ප්‍රශංසා මෙන්ම නින්දා අපහාස ද ඒ මාවතෙහි පාවඩ විය. ජය පරාජය සෙවනැල්ල සේ ළඟ සිටියේය.

ඒ සියල්ල මැද මම ජනතාව සමග උරෙනුර ගැටෙමින් ජනතාව සමග ම සිටියෙමි. ජනතාවගේ දුක සතුට කඳුල මගේ ද දුක සතුට කඳුල විය. ජනතාව වෙතින් මා ඈත් කිරීමට විරුද්ධ බලවේග උත්සාහ කරන විට මම දියට ඇදෙන මසකු මෙන් ජනතාව අතරට ගියෙමි. ජනතාව සමග ඔවුන්ගේ නිදහස ජයග්‍රහණය උදෙසා සටන් කළෙමි. ඒ ගමනේ දී මට පරාජය ද සිරගෙදර ද ජයග්‍රහණය ද රජ ගෙදර ද උරුම විය.



මම මගේ පරාජය තනිව විඳ දරාගෙන මගේ ජයග්‍රහණය සෑම අවස්ථාවක මගේ රටේත් රට වැසියාගේත් විජයග්‍රහණයක් කළෙමි. පනස් වසකටත් ඔබ්බට යන මගේ දේශපාලන ගමනෙහි මා උපයා ගත් කලා වැව වැනි ධනස්කන්ධය එයයි. එදා මා සොයා ලක්ෂ ගණනින් මැදමුලනට ඇදුණේ ඒ ධනස්කන්ධයයි. ඒ ජනතා ආදරය මට ලැබෙන තුරු මගේ ජයග්‍රහණය මේ රටේ විජයග්‍රහණයයි.

අගමැති මහින්ද රාජපක්ෂ

Scroll to Top