ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය උදෙසා විදේශ රැකියා නියුක්තියේ කාර්යභාරය;අභියෝග සහ ඉඩප්‍රස්ථා.
මැයි 1 වැනිදා සිට කොවිඩ් 19 සමාජ සම්ප්‍රේෂණයෙන් කොවිඩ් 19 වැළඳුණු කිසිඳු රෝගියෙකු නොමැති බව තහවුරු කරමින්, ඒ සඳහා මුහුණ දීමේ දී, එය කළමණාකරණය කිරීමේ දී ශ්‍රී ලංකාව ඉතා හොඳින් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළ බව බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.
2020 ජුනි 27 වන විට, 2033 දෙනෙකුට කොවිඩ් 19 වැළදී තිබුණ ද සමාජ සම්ප්‍රේෂණය හරහා මෙම රෝගය වැළදී තිබුණේ ඉන් 313 කට පමණි.(16.40) 947 ක් (46.58%) ‘නාවික හමුදා’ වෙතින් වූ අතර 773 ක් (38.02%) විදේශ රටවලින් පැමිණි පුද්ගලයන්ගෙන් විය. සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, අප කතාකරන පරිදි, 1661 දෙනෙකු සුවය ලබා ඇති අතර, ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගීන්ගේ සුවවීමේ අනුපාතය 80.55% ක් වන අතර එය ලෝක අනුපාතය වන 56.39% ට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ අගයකි.
මරණ 11 ක් පමණක් සිදු වූ අතර, 2020 ජුනි 01 වන දින වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගීන්ගේ සුවවීමේ අනුපාතය වූයේ 0.55% ක් වන අතර එය ගෝලීය මරණ අනුපාතය වන 5.2% ට වඩා සැලකිය යුතු අඩු මට්ටමක පවතියි.
මෙම සාර්ථකත්වයට බොහෝ දුරට හේතු වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයයි. එතුමා කොවිඩ් -19 කාර්ය සාධක බලකායක් ඉක්මනින් පත්කිරීම සහ නිරන්තර අධීක්ෂණය තුළින්, ඇතිවෙමින් පැවති අභියෝගවලට හැඩගැසීම සඳහා සහ එම අභියෝගවලින් ජය ගැනීමට නිලධාරීන් සන්නද්ධ කළ සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ. වෙනත් හදිසි සේවා මෙන්ම රාජ්‍ය සේවාවන් සමග එක්ව අනාගතයේ ඇතිවිය හැකි සියලුම තත්ත්වයන්ට සූදානම් විය.
ශ්‍රී ලංකාවේ දේශසීමා තුළ සිටින අයගේ ආරක්ෂාව හා අවශ්‍යතා සපුරාලන අතරම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මෙම වසංගතයෙන් ඇතිවී ඇති බලපෑම අවම කිරීමේ වැදගත් සමාන්තර කර්තව්‍ය ඉටුකිරීමට රජයට සිදුවිය. එම අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10% ක් පමණ විදේශ රටවල සිටි අතර එය මිලියන 2 ත් 2.5 ත් අතර ප්‍රමාණයක් විය. මෙම සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් සංක්‍රමණික සේවකයන් වන අතර එය දළ වශයෙන් මිලියන 1.5 ක් යැයි ගණන් බලා තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති සංඛ්‍යාවට හා 2019 මහ බැංකු වාර්තාවට අනුව 30% ක් ගෘහ සේවිකාවන්, 25.2% නුපුහුණු ශ්‍රමිකයන්, 1.5% අර්ධ පුහුණු ශ්‍රමිකයන් සහ 30.9% ක් පුහුණු ශ්‍රමිකයන්ය. ඉතිරි කම්කරු නොවන කාණ්ඩයට අයත් වන අතර ඔවුන්ගෙන් 4.9% ක් වෘත්තීය මට්ටමේ ද 2.8% මධ්‍යම මට්ටමේ ද 4.5% ක් ලිපිකරු හා ඊට අදාළ මට්ටම්වල ද රැකියාවල නියැලි පිරිස වෙති. ඔවුන් ප්‍රධාන වශයෙන් වෙසෙන්නේ බහරේන්, කුවේට්, ඕමාන්, කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවලය.
අද වැඩසටහනේ සාකච්ඡාව සඳහා ඔබ මට ආරාධනය කර ඇත්තේ මෙම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති අභියෝගයන්ට මුහුණ දීමේ දී විදේශ සබඳතා අමාත්‍ය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අයත්වන විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ වූ විදේශ සබඳතා අමාත්‍යාංශය සහ විදේශයන්හි ඇති දූත මන්ඩලවල අදාළභාවය පිළිගැනීමක් වශයෙන් බව මම විශ්වාස කරමි.
ආරම්භක කරුණු ලෙස, 2020 අප්‍රියෙල් 08 වන දින සිට දැනට දින තුනකට ඉහත කාලයක් (2020 ජුනි 24) දක්වා “අමාත්‍ය මණ්ඩලයීය සටහන්” පහක් හරහා කොවිඩ් -19 මධ්‍යයේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රයත්න දරා ඇති බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මේවා විදේශයන්හි ඇති අපගේ දූත මණ්ඩල, සමඟ සාකච්ඡා සහ විශේෂයෙන් අප රටෙන් ශ්‍රමය ලබාගන්නා රටවල කොළඹ පිහිටි, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් සමඟ පැවති ද්විපාර්ශ්වික හා කණ්ඩායම් උපදේශන විසින් සහ ශ්‍රී ලංකා නායකයින් විසින් එම සත්කාරක රටවල නායකයන් සමඟ පැවති සෘජු සංවාද හරහා, පිළිසරණ අපේක්ෂා කරන ප්‍රවර්ග වෙන්කොට හඳුනාගැනීමට හා අවධානම හැකිතාක් දුරට අඩුකිරීමට මෙම ප්‍රයත්න වැඩිදියුණු කරන ලදී.
අද දින, මා විසින් පළ කරනු ලබන මතයන් මූලික වශයෙන් කේන්ද්‍රීයගත වනු ලබන්නේ, දිවයිනට පෙරලා පැමිණීමට අපේක්ෂා කරන්නවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ දී මෙන්ම දැනට තමන් රැඳී සිටින්නාවු ස්ථානවලම රැඳී සිටීමට මනාපය දක්වමින් ලෝකය පුරා විසිරී සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසකගේ අනුභූතී අවශ්‍යතාවයන් සපුරාලීමේ දී, පසුගිය මාස 5 තුළ අප විසින් මුහුණ දෙන ලද මෙන්ම මුහුණ දෙමින් පවතින්නාවූ අභියෝග ද්විත්වය මතය.
කෙසේවුවද, විදේශගතව වාසය කරනු ලබන අපගේ ජන කොටස් සුබසාධනය සාක්ෂාත් කරලීමේ ක්‍රියාදාමයෙහිදී උගත් පාඩම් වඩාත් බලාත්මකව කැපී පෙනෙන අතර,කොවිඩ් 19 වසංගතය කරන කොට ගෙන වඩාත් තියුණු අවධානයකට ලක්වූ, විදේශ සේවා නියුක්ති ක්ෂේත්‍රයේ අභියෝග සහ ඉඩප්‍රස්ථා ලෙස එකී උගත් පාඩම්වලට ප්‍රවේශය ලබා ගැනීම මාගේ අභිප්‍රායයි. මෙකී උවදුරෙන් ඉස්මතුවූ අන්ධකාරය ඔස්සේ වුවද, ශ්‍රමික සංක්‍රමණයෙහි ලා මතුව ඇති ව්‍යවුහාත්මක, පටිපාටිමය සහ මානුෂීයමය අතුරු නොගැලපීම් නිවැරදි කර ගැනීමට උපකාරී වන බොහෝ අංශයන්හි යථාර්ථය අවබෝධ කරවා ලීමට වර්තමාන තත්ත්වය හේතු පාදක වු බව මාගේ තර්කයයි.
ශ්‍රී ලංකාවෙහි මෙන්ම සංක්‍රමණික ශ්‍රමික සේවාවන් ලබාගන්නාවූ රටවලද පවත්නා යථාර්ථයන්ට සංවේදී, පශ්චාත් කොවිඩ් 19 වසංගත ලෝකයක අපගේ ජනතාව සඳහා විදේශ සේවා නියුක්ති ඉඩ ප්‍රස්ථාවන් ප්‍රති අනුස්ථාපනය කිරීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට උදා වී ඇති අතර, ශ්‍රී ලංකාව විසින් අනාගතයේදී මුළු මහත් ලෝකයට සලසා දෙනු ලබන “ විදේශ සේවා නියුක්තිය” සමහර විටෙක කුඩා විය හැකි වුවද, වඩාත් සුහුරු සහ වඩාත් තිරසාර වනු ඇත.
- ආපසු මවුබිමට යාමට කැමති පුද්ගලයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම
විදේශ අමාත්‍යංශයේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, මෑත මාසවල මුහුණ පෑ ලොකුම අභියෝගය වී ඇත්තේ, තම මව්බිමට ආපසු යාමට අපේක්ෂා කරන තරමක් පීඩාවට පත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සහ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම බවට කිසිදු සැකයක් නොමැත.
විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා ගුවන් ගමන් මෙහෙයවන්නේ කුමන ලෙසට ද යන්න හා අදාළ වැඩපිළිවෙල් තීරණය කරන ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොවිඩ්- 19 ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ විදේශ අමාත්‍යාංශය සමීපව කටයුතු සම්බන්ධීකරණය කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය සංචාරක සැපයුම් කටයුතු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරන අතර නිරෝධායනය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වගකීම දරයි. සෞඛ්‍ය බලධාරීන් වෛද්‍ය පරීක්ෂාවන් සහ හදිසි අවස්ථා සඳහා කටයුතු සූදානම් කරයි.
සමහර විට, ආයතනික ප්‍රමුඛතා සමඟ එකඟතාවය සහ ඇතැම් විට ක්‍රියාමාර්ග නිවැරදි කිරීම අවශ්‍යවීම මීට ඇතුළත් වෙයි. විදේශ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය සහිතව සහ ලොව පුරා විසිරී ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල 67 ක ප්‍රතිපෝෂණය මත පදනම්ව මෙම එකඟතාවලට පැමිණීම හා ප්‍රමුඛතා සැකසුම සිදුකර ඇත. මෙම දූත මණ්ඩල/දූත කාර්යාල අතුරින්, සංක්‍රමණික ශ්‍රමය බහුලව ලබාගැනීමේ රටවල අගනගර 16ක පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇපකැපවී කටයුතු කරන ඒකක මගින් ද අපට සහාය ලබාදෙන ලදී.
2020 ජුනි 25 වන දින වන විට, 2020 පෙබරවාරි 1 වන දින සිට චීනයේ වූහාන් හි අනතුරුදායක කලාපයෙන් සිසුන් 3 දෙනෙකු ඉවත් කිරීමෙන් ආරම්භ කළ ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ ගුවන් ගමන් මගින් විදේශ රටවල පිහිටි ශ්‍රී ලාංකිකයන් 10,355 දෙනෙකු ගෙන්වා ගෙන තිබේ. මෙම සංඛ්‍යාවට ඉන්දියාවේ අතරමං වූ වන්දනාකරුවන් සහ 2020 මාර්තු 22 වන දින ගුවන් තොටුපොළ වසා දැමීමට පෙර ඉතාලිය, කොරියානු ජනරජය සහ යුරෝපය යන රටවලින් ආපසු පැමිණි වෙනත් ශ්‍රමිකයන් ද ඇතුළත් වේ. 2020 අප්‍රියෙල් 21 වැනි දින, ලොව නන් දෙසින් ශ්‍රී ලාංකිකයන් ගෙන ඒමේ ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපොල විවෘත කළ දින සිට සංක්‍රමණික ශ්‍රමික ප්‍රවර්ගය යටතේ 2,360 ක් (22.79%) මෙරටට ගෙන්වා තිබේ.
විදේශ අමාත්‍යාංශයේ “කන්ටෑක්ට් ශ්‍රී ලංකා” වෙබ් පෝටලය මත පදනම්ව සහ දූතමණ්ඩල වාර්තාවලට අනුව, පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට වාර්තා කරනලද පරිදි 2020 ජුනි 16 වැනි දින වන විට රටවල් 117ක සිටින ශ්‍රී ලාංකිකයන් 52,401 ක් ගෙන්වා ගැනීමට නියමිත බව අප මතක තබාගත යුතුය.නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිසුන් 2,590(4.9%) හා කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 5,825 (11.12%) සිටින අතර 39,001 වන සෙසු පිරිස සංක්‍රමණික සේවකයෝ (74.43%) වෙති. ඉන් 26,321 ක් (50.23%)මැද පෙරදිග රටවල වෙසෙන්නන් වෙති.
ආරම්භයේ සිටම, සියලු වර්ගවල විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය සඳහා වගකිව යුතු ආයතන ලෙස, ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය රජයට කළ ඉදිරිපත් කිරීම් පදනම් වී ඇත්තේ වඩාත් අවදානමට ලක්විය හැකි කාණ්ඩ එනම් සිසුන්, හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සහ නෛතික තත්ත්වයෙන් බැහැරව සිටින / රැකියා අහිමි වූ / වැටුප් නොලැබී ඇති සහ විදේශ රටක දී නඩත්තුවිය නොහැකි තත්ත්වයක පසුවන පුද්ගලයන්ට සහන සැලසීම කේන්ද්‍රකොට ගෙනය.
සංක්‍රමණික ශ්‍රමිකයන් ආපසු මෙරටට ගෙන්වා ගැනීමේ සෑම අවස්ථාවකම වඩාත් අවදානමට ලක්වූවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විදේශ අමාත්‍යාංශයට මාර්ගෝපදේශය ලැබිණි. බලගතු තත්ත්වයන්ට මුහුණ දෙන අය සඳහා රජය විසින් මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන්වල වාසිය ලබාගැනීමට පෙර, හදිසියේ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ දී ඔවුන්ගේ රැකියා සහ අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම ගැන හොඳින් විමසා බලන ලෙස ශිෂ්‍යයන් හා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියාක් මෙන් සංක්‍රමණික සේවකයන්ගෙන් ද ඉල්ලා සිටින ලදී.
ප්‍රධාන සීමාකාරි සාධකය වන නිරෝධායන පහසුකම් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ද විදේශ අමාත්‍යාංශය අවධානය යොමුකොට ඇත. සාකච්ඡාවට භාජනය වූ අපගේ මාතෘකාවට අදාළව අප්‍රේල් 21 වන දින දකුණු ආසියාවෙන් සිසුන් ඉවත් කිරීම ආරම්භ කළ අතර, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පළමු කණ්ඩායම මෙරටට ගන්වා ගනු ලැබුවේ මැයි 17 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටය. වෛද්‍ය පරීක්ෂණවල දී, මැයි 19 වන දින කුවේටයෙන් ආපසු පැමිණි 466 න් 372 ක්ම කොවිඩ් – 19 වෛරසය ආසාධිත පුද්ගලයන් ලෙස හෙළිවීමෙන් පසුව ඉතා ඉහළ ආසාධන අනුපාතයක් පෙන්නුම් කළ හෙයින් මෙමගින් දෙවැනි වරට ගෙන්වාගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතියට බාධා ඇතිවිය. මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා පොකුර ද එහි උච්චතම අවස්ථාවට පත්වී තිබුණි.
නිරෝධායන අඩු පහසුකම් පමණක් නොව වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැඩි ඉල්ලුමක් ද ඇතිවිය හැකි බැවින් ගෙන්වා ගැනීමේ සැලසුම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් ඇතිවිය. මෙරටට ගෙන්වා ගත් ඕනෑම ආසාධිත පුද්ගලයෙකුගෙන් සමාජය තුළ නව තර්ජනයක් ඇතිවීම වළක්වාගැනීම සඳහා ඉහළ අවදානම් සහිත මෙන්ම අඩු අවදානම් සහිත ගමනාන්තයක් අතරින්පතර දමමින් ගුවන් ගමන් ගමනාන්ත භ්‍රමණය කිරීමක් සිදුකිරීමට අවශ්‍යවිය.
ජුනි 4 වනදා සිට රට තුළට පැමිණෙන සියලුම මගීන් ගුවන් යානයට ගොඩවීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය විය යුතු යැයි රජය අවධාරණය කළේ මෙම සන්දර්භය තුළය. සංක්‍රමණික ශ්‍රමිකයන් කේන්ද්‍රගතවී ඇති ගමනාන්තවලින් නැවත මෙරටට ගෙන්වා ගැනීම ජුනි 13 වන දින මාලදිවයිනෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබුණි. මේ වන විට, රජය විසින් සකස්කර ඇති සැලසුම්වලට අනුව, ජූලි 7 වන විට, විශාල සංක්‍රමණික සේවක සංඛ්‍යාවක් සිටින සියලුම ගමනාන්ත වෙත අවම වශයෙන් එක් ගුවන් ගමනක්වත් සහ මාලේ, ඩුබායි, කටාර්, ඩකා සහ සිංගප්පූරුව වෙත ගුවන් ගමන් කිහිපයක්වත් වශයෙන් ගුවන් ගමන් සිදු කළ යුතුව තිබේ.
මැදපෙරදිග කලාපයේ ඒකරාශීවී සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් දිගින් දිගටම නැවත මෙරටට ගෙන්වා ගැනීමට අමතරව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ කැරබියන් දූපත් වල විසිරී සිටින කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් මෙන්ම සංක්‍රමණික සේවකයන් යුරෝපයේ සහ ආසියාවේ සමහර ප්‍රදේශවල සහ ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව පුරා ඇති නගරවල කුඩා කණ්ඩායම් සිටින බවත් මෑතකාලීන/සැලසුම් කළ ගුවන් ගමන් හරහා ඉහත ප්‍රශ්නවලට සෘජු ප්‍රවේශයක් ලැබී නොමැති බවත් සඳහන් කළ යුතුය.
අනාගත ගුවන් ගමන් වෙන් කරන අවස්ථාවල දී මෙම කණ්ඩායම්වලට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් සිටියි. ඊට සමගාමීව, පූර්ණ වශයෙන් මුදල් ගෙවන ලද කුළී පදනම මත ගුවන් යානා යොදාගැනීම සහ කණ්ඩායම් නිරෝධායන යොදාගැනීම සඳහා අවසර ලබාදීම පිළිබඳව ද සලකා බැලෙමින් පවතියි. විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූතමණ්ඩල විසින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සිදුකරනුයේ ඒවායේ ලියාපදිංචි වී ඇති අනුපිළිවෙළ අනුවය.
- දැනට සිටින රටවල රැඳී සිටීමට තීරණය කර ඇති විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම
විදේශ අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ -(Contact Sri Lanka) වෙබ් ද්වාරය
විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා මෙය ප්‍රායෝගික ‘උපකාරක කවුළුවක්’ වෙයි. 2020 මාර්තු 26 වන දින මෙය දියත් කළ දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 86,613 ක් මෙම ද්වාරයෙහි ලියාපදිංචි වී ඇති අතර ඵලදායී ලෙස එය මෙහෙයවීමට කැපවූ කණ්ඩායමක්, ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ප්‍රධාන වශයෙන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සහ කොන්සියුලර් සේවා වලට අදාළව හාවෙනත් මෙහෙයුම් හා ප්‍රතිපත්තිමය කරුණුවලට අදාළව ද සහාය ඉල්ලමින් අසන ලද ප්‍රශ්න 12,912 කට පිළිතුරු සපයා ඇත.
විශේෂයෙන්ම, අදාළ රටවල ශ්‍රී ලංකා නියෝජනයක් නොමැති විට ළඟම ඇති ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩලයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමටත්, ආහාර අවශ්‍යතාවයෙන් පෙළෙන අවධානමට ලක් වී ඇති ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කර ගැනීමටත් ඔවුන්ට වියළි ආහාර, ඖෂධ හා සමහර අවස්ථාවල දී රැකවරණය ලබා දීමටත් මෙම ද්වාරය සමත් වී තිබේ. සංක්‍රමණිකයන් විසින් ශ්‍රී ලංකාවට මුදල් මාරු කිරීම හා ශ්‍රී ලංකාවෙන් ගොස් සිටින කෙටිකාලීන සංචාරකයින් සහ සිසුන්ට අදාළ ගැටලු විධිමත් කිරීමට ද එය හේතු වී තිබේ. අධ්‍යාපන ආයතනවල දී ගැටලුවලට මුහුණ දුන් සිසුන්ට මෙන්ම රැකියා ගිවිසුම් කල් ඉකුත් වී ඇති අයට නව රැකියා කොන්ත්‍රාත්තු ලබාගැනීමටත් ඇතැම් දූත මණ්ඩල උපකාර කර තිබේ. එහෙයින් රැකියා වියුක්තිය හේතු කොටගෙන ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ඔවුන් නොපෙළඹේ.
සහනාධාර ලබාදීම
මැදපෙරදිග හා වෙනත් ස්ථානවල අවදානමට ලක්විය හැකි කොටස්වලට සහන සැලසීමේ දී, වියළි සලාක, මූලික ඖෂධ, ආරක්ෂිත ආම්පන්න මෙන්ම පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත ස්ථානවලට යාමට අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා මෙම අමාත්‍යාංශය විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට ශ්‍රී ලංකා රුපියල් මිලියන 42.6 ක් ලබා දී ඇත.
වියළි සලාක සපයාගැනීමට අභියෝගයක් වන හා හිඟකම හේතුවෙන් මිල අධික වන රටවලදී මෙම අමාත්‍යාංශය විසින් පැවැත්ම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා /ආහාර ද්‍රව්‍ය සපයා දී ඇති අතර එක් එක් නගරවල සත්‍ය වශයෙන්ම පවතින අවශ්‍යතාවයට අනුව මෙම භාණ්ඩ ගුවන් මගින් යවා ඇත. මේ වන විට, ශ්‍රී. ලං.රු. මිලියන 15.5ක් වටිනා ඇසුරුම් 5000 ක්/කෑමට සූදානම් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් වෙත යවා ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම භාණ්ඩ තොගය ගෙවීම් රහිත පදනමක් මත ගෙන ගොස් ඇත.
විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ දිරි දීමනා
– කෝවිඩ් -19 ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පවුල් වෙත මුදල් ප්‍රේෂණය කිරීමේදී විශේෂයෙන්සංක්‍රමණික සේවකයන් මුහුණ පෑ දුෂ්කරතා සහ අපේ‍්‍රල් මැද භාගයේ සිට රටේ ජංගම ගිණුමට මුදල් ගලනයේ තියුණු පහත වැටීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් විදේශ අමාත්‍යාංශය විදේශ ප්‍රේෂණ ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති විශේෂ තැන්පතු ගිණුම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සමීපව කටයුතු කිරීමට පියවර ගන්නා ලදී. මෙය සිදු කරනු ලැබුවේ මේ පිළිබඳ ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා දීම සහ විදේශ රටවල සිටින ශ්‍රී ලංකා ප්‍රජාව දිරිමත් කිරීම සඳහාවිදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල යොදවාගැනීම තුළිනි. අනෙක් කාරණය නම්, මාරු කරන ලද සෑම ඩොලරයක් සඳහාම අමතර ගෙවීමක් ලබා දීමෙන් විශේෂයෙන් මැද පෙරදිග සංක්‍රමණික සේවකයින්ට මැදපෙරදිග සිට ස්ථාපිත මූල්‍ය පද්ධති හරහා මුදල් යැවීමට විදේශ ප්‍රේෂණ දිරිගැන්වීමේ ක්‍රම සොයා බැලීමයි.
ශ්‍රී ලංකාවට විදේශ මුදල් ප්‍රේෂණය කරන සියලු දෙනාටම ප්‍රධාන වශයෙන් සංක්‍රමණික සේවකයින්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා යම් අමතර මුදල් ප්‍රමාණයක් ඔවුන්ට ලබාගත හැකිවන පරිදි දිරි දීමනා ගෙවීමේ ක්‍රමයක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළු මහ බැංකුව සහ රජයේ බැංකු හරහා ඉල්ලා සිටීම මෑතකදී රජය සමඟ කළ ඵලදැරූ කටයුත්තකි. සම්මත බැංකු මිලදී ගැනීමේ අනුපාතයට වඩා ප්‍රේෂණ මුදල් මත පදනම්ව එම මුදලට සමාන එක්සත් ජනපද ඩොලරයකට රු. 10 ක් ලබාදීම එමඟින් අභ්‍යන්තර ප්‍රේෂණය තවදුරටත් දිරිගැන්වේ. මෙම පියවර කෙටි කාලීනව ප්‍රේෂණ වැඩි කිරීමට හේතු වනු ඇතැයි අපි විශ්වාස කරමු.
සංක්‍රමණික සේවකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික නියෝජන
ඉහත උත්සාහයන්ට අමතරව, පීඩාවට පත්ව සිටින සහ පහත දක්වා ඇති ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් සහාය අවශ්‍ය වී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට සහාය දීමේ කාර්යයෙහි විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූතමණ්ඩල ක්‍රියාකාරීව නියැලී සිටිති.
– ඉතාලි රජය විසින් හඳුන්වා දෙන ලද විශේෂ සමා කාලය (sanatoria) යටතේ, රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලාංකිකයන්ගේ වීසා තත්ත්වය විධිමත් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලාංකිකයන් 10,000 කට අධික පිරිසකට කොන්සියුලර් සහාය ලබා දී තිබේ.
– බීරූට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ලෙබනන් රජය විසින් පැවැත්වීමට නියමිත පී.සී.ආර්. පරීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු සාර්ථකකර ගැනීමට සමත් වී තිබේ. එක් අයෙකුට ඇමරිකානු ඩොලර් 100 ක් ගෙවීමේ අවශ්‍යතාවයෙන් සම්පූර්ණයෙන් නිදහස් වීමක් ලබාගැනීමට දූත මණ්ඩලයට හැකි වී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා දූතමණ්ඩලයවිසින් කරන ලද නියෝජනයන්ට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ කටාර් රාජ්‍යය විසින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.
– පෝලන්තයේ වෝර්සෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියාකාරී වැඩසටහන් වලදී, රොමේනියානු රජය මැදිහත් වී රොමේනියාවේ බුකාරෙස්ට් ගුවන්තොටුපලේ අතරමංව සිටි ශ්‍රී ලාංකික කම්කරුවන් 36 දෙනෙකුගේ රැකියා සුරක්ෂිත කිරීමට කටයුතු කළේය. ජෝර්දානයේ අම්මාන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇඟලුම් සමාගම් සමඟ සාකච්ඡා කර, කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා වැසීම හේතුවෙන් රැකියා අහිමිවූ ශ්‍රී ලාංකිකයින් සඳහා නව රැකියා අවස්ථා 46 ක් ලබා ගෙන තිබේ. සංක්‍රමණික කම්කරුවන්ගේ කොරියානු ජනරජයට මාරුකිරීම දැනටමත් ආරම්භ වී තිබේ.
හවානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මුලපිරීමකට අනුව, කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකුගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලමින් කර්මාන්තශාලා හිමියන්ට කියුබානු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ.
වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ලවන ආර්ථික බලපෑම අවම කිරීම සහ ආර්ථික පුනරුදයට සහාය ලබාදීම.
– වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය රජයේ ප්‍රධාන ආර්ථික නියෝජිතායතන සහ පෞද්ගලික අංශය සමඟ අඛණ්ඩව කටයුතු කර ඇත. 2020 අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක් වූ අපනයන මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සංශෝධිත ප්‍රක්ෂේපනවලට අනුකූලව ඉදිරි මාසවලදී මෙම ඉහළ යන ප්‍රවණතාව මගින් ගම්‍යතාව පවත්වාගෙන යනු ඇත.
දූත මණ්ඩල ජාලයේ සහාය ඇතිව නව නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. විශේෂයෙන් පුද්ගලික ආරක්ෂක උපකරණ සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා (වෙළඳපල 12 ක මුහුණු ආවරණ, වෙළඳපල 17 ක ආරක්ෂිත ගවුම්, රබර් අත්වැසුම් වෙළඳපල 12 ක, අත් විෂබීජ නාශක වෙළඳපොළවල් 12 ක) වෙළඳපල සොයා ගැනීමට හැකිවී තිබේ. මෙම අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද, මෙට්‍රික් ටොන් 344 සහ මෙට්‍රික් ටොන් 220 ක ලංකා තේ තොග තුර්කියට හා ඊජිප්තුවට අපනයනය කිරීමට සහ ශීත කළ ආහාර මෙට්‍රික් ටොන් 30 ක් ඕමානයට අපනයනය කිරීමට අමාත්‍යාංශයේ වෙළඳ පහසුකම් සැපයීමේ ප්‍රයත්න මගින් සහාය ලබා දී තිබේ.
-අමාත්‍යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව නව වෙළඳපලවල් අත්පත් කර ගැනීම සහ පවත්නා වෙළඳපලවල ඉල්ලුම ශක්තිමත් කිරීම සඳහා වෙළඳපළ සඳහා ඉදිරිපත් කළ හැකි අංශ 15ක් හඳුනාගෙන ඇත. වර්තමාන අවහිරතා, අභියෝග මෙන්ම ඉඩප්‍රස්ථා ද සැලකිල්ලට ගනිමින් මෙම අංශ දැන් සිතියම් ගත කරමින් පවතියි.
– ශ්‍රී ලංකාවට ආර්ථික වැදගත්කමක් ඇති ප්‍රධාන ගමනාන්ත කිහිපයකට භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව සිදුකරන ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ විදේශ දූත මණ්ඩල සහ පෞද්ගලික අංශය සහයෝගීතාවයෙන් කටයුතු සිදු කරයි. විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ද යොදා ගැනේ.මෙමගින් මෙහෙයුම් පිරිවැය අඩුකරනු ඇත.
– සෞඛ්‍ය සම්පන්න අයුරින් විදේශීය සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට සංචාරක බලධාරීන්ගේ නායකත්වයෙන් යුතුව මෙම අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටියි.
-
අභියෝග
ශ්‍රී ලංකාවේ විදේශ රැකියා පරිචය 1970 දශකයේ ආරම්භ වූ දා පටන්ම ඒ හා බැදී පවතින අවධානම් තත්ත්ව විශාල සංඛ්‍යාවක් මෙම කොවිඩ් -19 වසංගතය මගින් හෙළි කර තිබේ.
i)විදේශයන්හි සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන 1.5 ක් අතුරින්, කොවිඩ් -19 වසංගතය ඇතිවන අවස්ථාවේ දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිගින් දිගටම ලියාපදිංචි වී ඇත්තේ සීමිත සංඛ්‍යාවක් වන අතර එය සැලකිලිමත් විය යුතු කරුණකි. සමහරු, මුලින් රට හැර යන මොහොතේ ලියාපදිංචි වී ඇති නමුත්, පසුව ඔවුන්ගේ ලියාපදිංචිය අළුත් නොකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. කොවිඩ් -19 වසංගතයේ දී ඔවුන්ට ආරක්ෂිත ජාලයක් නොතිබුණි.
- ii) මෑත සතිවල දී ලේඛනවල ඇතුළත් වී නොමැති/ අක්‍රමවත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් පිළිබඳව හෙළිදරව් වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් තම සත්කාරක රටවල වෛද්‍ය සහ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමට නුසුදුසු වන අතර, හඳුනාගත හොත් පිටුවහල් කිරීමේ අවදානමට ලක් වේ. 110,000 කට අධික සංඛ්‍යාවක් සිටින බවට ගණන් බලා ඇති කුවේටයේ පමණක් 18,000 ක් නීත්‍යානුකූල තත්ත්වයෙන් බැහැරව සිටින බව කුවේට් බලධාරීහු පවසති.
iii) නීත්‍යානුකූලව සිටි අය සඳහා වුවද, කොවිඩ් -19 හි ප්‍රතිඵලයක් ලෙස රැකියා වෙළඳපොල හැකිලීම – විරැකියාව වැඩිවීම, කොන්ත්‍රාත්තු අහිමිවීම, රැකියා බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලිකව ස්වයං සේවයේ නියැලීම නතර කිරීමට සිදු වී ඇති අතර ඒ හේතුවෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශාල වශයෙන් අසරණභාවයට පත්වී ඇත. උදාහරණයක් ලෙස සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයන් 130,000 ක් සිටින බවට ගණන් බලා ඇති අතර සාක්ෂි අනුව, ගෘහ සේවිකාවන්, ගෘහ රියදුරන්, ගෙවතු වවන්නන්, ගෘහ පාලිකාවන් (ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගෙන් දළ වශයෙන් 35% ක්)ඇතුළු ගෘහස්ථ අංශයේ සේවය කරන අයගේ රැකියා සාපේක්ෂ වශයෙන් වඩා ආරක්ෂිත බවට සාක්ෂි තිබේ. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රධාන අංශය වන්නේ, වේටර්වරුන්, සුලු සූපවේදීන්, කැබ් රියදුරන් යනාදිය ඇතුළත් වන සේවා අංශයේ කාර්යමණ්ඩලවල බොහෝමයක් ඇතුළත් වන අර්ධ නිපුණතා අංශයයි. ගෘහස්ථ අංශයේ රැකියාවලින් අහිමි වී ඇත්තේ 9% ක් පමණක් වන අතර රැකියා අහිමිවීම් වලින් 72% ක් ‘අර්ධ නිපුණතා’ අංශයෙන් වාර්තා වී තිබේ.
- iv) මැදපෙරදිග ඇතුළුව ශ්‍රමය ලබාගන්නා ප්‍රධාන රටවල ආර්ථිකයන්ගේ හැකිලීම ශ්‍රී ලංකාවට අදාළ වන ආකාරය සැලකිල්ලට ගැනීමේ දී මෙය මේ වසරේ සංක්‍රමණික සේවක සංඛ්‍යාවේ බරපතල අඩුවීමකට තුඩුදිය හැකිය. ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා විදේශගත වූවන්ගෙන් මසකට සාමාන්‍යයෙන් පිටත්ව යන 17,000 ක සාමාන්‍ය අගය විට මේ වන විට මුලුමනින්ම පාහේ නතර වී තිබේ. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ බිලේෂ වීරරත්න සඳහන් කරන්නේ “මාර්තු මැද සිට මැයි අවසානය දක්වා ශ්‍රී ලාංකිකයින් සඳහා අහිමි වූ විදේශ රැකියා අවස්ථා ප්‍රමාණය 37,500 ක් පමණ වන” බවයි.
v)සමස්තයක් ලෙස ගත් කල, ලෝක බැංකුව අනාවැකි පළ කරන්නේ දකුණු ආසියාවට සිදුකරන ප්‍රේෂණ ප්‍රමාණය 22% කින් තියුනු ලෙස පහත වැටෙනු ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ 2019 දී ඩොලර් බිලියන 6.7 ක් වූ ශ්‍රමික සම්ප්‍රේෂණ ප්‍රමාණය සිට 2020 දී ඩොලර් බිලියන 5.23 ක් දක්වා පහත වැටීමක් විය හැකි බවයි. මහ බැංකුවට අනුව, 2020 අප්‍රේල් මාසයේදී පමණක් ප්‍රේෂණ ප්‍රමාණය 32% කින් අඩු වී ඇති අතර එයින් අදහස් කරන්නේ විදේශ විනිමය සඳහා ඉපැයුම් හා 8% ක් වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සංක්‍රමණික සේවකයින්ගේ දායකත්වයේ සැලකිය යුතු පරතරයක් ඇති බවයි. 2019 දී විදේශ විනිමය ඉපැයීම් 25.5% ක් විය.
- vi) සමාජ විද්‍යාත්මක හා මානුෂීය දෘෂ්ටිකෝණයකින් බලන කල, අතිරේක අභියෝගයක් හෝ සාක්ෂාත් කර ගැනීමක් වූයේ, “රට විරුවෝ” යන යෙදුමෙන් පිළිබිඹු වන පරිදි ආර්ථිකයට ඔවුන් දක්වන දායකත්වය අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංස්ථාව තුළ ඔවුන්ගේ සාපේක්ෂ වැදගත්කම පිළිබඳ සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ මනසෙහි පවතින ඉහළ අපේක්ෂාවන් සහ විදේශයන්හි සිටින අයගේ පැමිණීම මත දේශීය වශයෙන් ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි යන කනස්සල්ල පැවතිය හැකි බැවින්, ඔවුන්ගේ දුක්ඛිත තත්වය පිළිබඳව සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් අතර පවතින බවට පෙන්නුම් කරන සාපේක්ෂ වශයෙන් අඩු සංවේදීතාව සහ අවධානය අතර සැලකිය යුතු විසන්ධි වීමක් පවතින බවයි.
විරුද්ධවාදී පාර්ශ්ව විසින් නැවත සියරට පැමිණවීම පිළිබඳව පළකරනු ලබන ලිපියක් සම්බන්ධයෙන් වන සමාජ මාධ්‍ය පළකිරීම් සහ අදහස් යමෙකු විසින් කියවා බැලුවහොත්, මෙය නැවත පැමිණීමට අපේක්ෂා කරන අයට පමණක් නොව, එයට එරෙහි වන අනෙක් අයටද අභියෝගයක් වන අතර, විදේශයන්හි සේවය කරන දරුවන්ගේ දරුවන් ද ඇතුළුව පවුල් කෙරෙහි පුළුල් සමාජ විද්‍යාත්මක බලපෑමක් ද ඇති කරයි.
- අවස්ථා
‘ආපසු පැමිණීම – ආපදා සහ අවස්ථාවන්’ යන වෙබ්නාර් තේමාවට අනුකූලව, ඓතිහාසිකව මෙම පරිමාණයේ ගෝලීය අර්බුදයත් සමඟ යම් යම් අවස්ථාවන් ද පැමිණෙන බව අප විසින්ම මතක් කර ගැනීම වැදගත්ය. කෙසේ වෙතත්, බුද්ධිමත් හා ඔවුන්ගේ වර්තමානය නැවත පරිකල්පනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති අවස්ථාව ඉක්මනින් හඳුනා ගැනීමට හැකි මෙන්ම, අනුවර්තනය වීමට හා වෙනස් ආකාරයකින් සිතීමට නිර්භීත වන අයට පමණක් පෙරට වඩා ශක්තිමත්ව මෙම අර්බුදයෙන් මතුවිය හැකිය.
- i) මෙම ප්‍රයත්නයේ පළමු පියවර වන්නේ ඉක්මනින්ම ‘යථා තත්ත්වයට’ පැමිණිය නොහැකි බවත්, අපට ‘නව සාමාන්‍යයකට’ හැඩගැසීමට සිදුවන බවත් තේරුම් ගැනීමයි. අප මුහුණ දී ඇති අභියෝග පිළිබඳ අව්‍යාජ හා යථාර්ථවාදී තක්සේරු කිරීම් මත පදනම්ව, අප විසින් ‘තිරසාර හා සාධාරණ ආර්ථිකයන්’ සහතික කළ හැකි ඉදිරි දැක්මකින් යුත් හා ඔරොත්තු දෙන ආකාරයේ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග, තනි තනිව හා සාමූහිකව ගොඩනගා ගත යුතුය.
මෙම නව ආරම්භයේ දී, තනි පුරවැසියන්, පෞද්ගලික අංශය මෙන්ම රජයන් ද ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට හා අනුවර්තනය වීම සඳහා ආර්ථිකයන්ට උපකාර කිරීමට වැඩි වැඩියෙන් එක්ව කටයුතු කළ යුතු වේ.
- ii) මානුෂීය දෘෂ්ටි කෝණයකින් බලන කල, කොවිඩ්-19 අර්බුදය හේතුවෙන් අපගේ විදේශ රැකියා ක්‍රියාවලීන්හි වඩාත් කරදරකාරී ප්‍රතිඵල භුක්ති විඳීමට නියමිතව සිටි අයව ලිහිල් කිරීමට උදව් වීමේ අනපේක්ෂිත ප්‍රතිඵල අත් වූ බවත්, ඉන් අපේ සංක්‍රමණික ශ්‍රමිකයන් වඩාත් අවදානමට ලක් වීම හා සූරාකෑමට ලක් වීම සිදුවූ නමුත්, එයින් මිදීමට නොහැකි වූ බවත් සැලකිය හැකිය.
ඇත්ත වශයෙන්ම, මෙම අවස්ථාව උපයෝගී කරගනිමින්, නැවත පැමිණීමට අපේක්ෂා කරන අයට ඔවුන්ගේ සත්කාරක රටවල රැඳී සිටීමෙන් ඔවුන් තව තවත් සූරාකෑමට ලක් නොවන පරිදි, ඔවුන්ගේ අවදානමට ලක්විය හැකි හා අස්ථිර පැවැත්මෙන් ඉවත්ව යාමට උපකාර කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති අප සකස් කළ යුතුය.
iii) කොවිඩ්-19 වෛරසය පැතිරීම හේතුවෙන් වඩාත් දුර්වලව තිබූ සමහර පරිසරවල සිටි සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන්, ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය හරහා ද අපට ප්‍රතිපෝෂණ ලැබී තිබේ. මෙම ක්‍රියාවලියේදී, සදාචාර විරෝධී බඳවා ගැනීමේ පිළිවෙත්, දේශසීමා හරහා සංක්‍රමණ කළමනාකරණය පිළිබඳ අඩුපාඩු, සුභසාධන පද්ධතිවල අඩුපාඩු, අර්බුදය තුළ දී වඩාත් නිරාවරණය වූ සැලකිළිමත් විය යුතු කරුණු වේ. ශ්‍රම යැවීමේ හා ලැබීමේ රටවල් පිළිබඳ මෙම කරුණු කලින් දැන නොසිටි ඒවා නොවේ. කෙසේ වෙතත්, නිරාවරණය වී ඇති අවදානමේ ප්‍රමාණය පිළිබඳව විශේෂයෙන් සැලකිළිමත් විය යුතු වේ.
පුළුල් ලෙස කිවහොත්, අප සංක්‍රමණික ශ්‍රමය අපනයනය කිරීම ප්‍රවර්ධනය කරන අතරම, ගණන් නොගෙන සිටිය නොහැකි අනාගත ගෝලීය අර්බුදයන්ට මුහුණ දීම සඳහා අපට අවශ්‍ය තිරසාර විසඳුම් විකාශනය කිරීම වැදගත්ය. මේවා යුද්ධ හා අභ්‍යන්තර සන්නද්ධ ගැටුම්වල සිට දේශගුණික විපර්යාසයන්ගෙන් ඇති වන බලපෑම්, ආහාර හා ජල සුරක්‍ෂිතතාවයට ඇති අභියෝග සහ ඊළඟ ගෝලීය වසංගතය දක්වා පරාසයක විය හැකිය.
- iv) ‘සමස්ත රජයේ’ ප්‍රවේශයක් සහතික කරමින්, වඩා හොඳ පාලනයක් සඳහා සංක්‍රමණ කළමනාකරණයට සම්බන්ධ ආයතන අතර තිරස් හා සිරස් සම්බන්ධීකරණයක් ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව දශකයකට වැඩි කාලයක් තිස්සේ බොහෝ සාකච්ඡා සහ ප්‍රකාශ සිදුකර තිබියදීත්, ඒකාබද්ධ ප්‍රවේශයක් සංවර්ධනය කිරීම සහ වඩා හොඳ පාලනයක් සඳහා සංක්‍රමණ කළමනාකරණයට සම්බන්ධ ආයතන අතර තිරස් හා සිරස් සම්බන්ධීකරණයේ වැදගත්කම ගැන උපකල්පනය කරමින්, ‘සමස්ත රජයේ’ ප්‍රවේශයක් සහතික කිරීම තවදුරටත් අභිලාෂයක් ලෙස පවතී. ‘විදේශ රැකියා අත්පොත’ යාවත්කාලීන කිරීම සඳහා එකඟ වීම පවා නිම නොකළ කටයුත්තකි.
කෙසේ වෙතත්, වර්තමාන අර්බුදය අපට එය වෙනස් කොට කතාව ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලබා දී ඇත. කොළඹ මෙන්ම ගමනාන්ත රටවල ද සංක්‍රමණික ශ්‍රමිකයන් සම්බන්ධ කාරණා පිළිබඳව කටයුතු කිරීමේ දී, සාකච්ඡා කුටිවලින් පිටතට පැමිණ වඩා හොඳ අන්තර්-රාජ්‍ය සම්බන්ධීකරණයක් සහතික කිරීමට එය උපකාරී වී තිබේ. මෙම පෙර නොවූ විරූ තත්වයක් තුළ එකාවන්ව කටයුතු කිරීමේ දී, දියුණුවට පත්වීමට අත්‍යවශ්‍ය අංගයක් ලෙස, අනාගත සහයෝගිතා ප්‍රයත්න සඳහා මෙය ඉවහල් වේ. විදේශ රැකියා පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ‘සමස්ත රජයේ’ ප්‍රවේශය සඳහා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ශක්තිමත් සංධානයක් ගොඩනැගීමට අප අපේක්ෂා කළ යුතුය.
- v) වර්තමාන අර්බුදය හේතුවෙන්, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ තත්ත්වය පිළිබඳව නොසලකා, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම කේන්ද්‍රයේ තබා ගනිමින් වඩාත් මානුෂීය දැක්මක් හරහා සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳව කටයුතු කිරීමට රජයේ යාන්ත්‍රණවලට බල කෙරී ඇත. මීට පෙර ශ්‍රී ලංකා පුරවැසියන්ගේ පුළුල් සුභසාධනය සඳහා ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල 67 ම වගකිව යුතුව පැවතියද, ඔවුන්ගේ ප්‍රධාන වගකීම වූයේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් සම්බන්ධයෙන් පමණි. වර්තමාන අර්බුදය තුළ මෙම ප්‍රතිපත්තිය ලිහිල් කර ඇති අතර, ස්ථාන 16 ක ශ්‍රී ලංකා දූත මණ්ඩල තුළ පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඒකක හරහා ලියාපදිංචි වීමේ තත්ත්වය නොසලකා සියලුම සංක්‍රමණික සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ශ්‍රමික සුභසාධන අරමුදලෙන් සම්පත් ලබා දීම සඳහා කටයුතු කොට ඇත.
ලියාපදිංචි සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය 96.8% ක් වන පිලිපීනය වැනි රටවල සංක්‍රමණික ශ්‍රමිකයන් විසින් සාර්ථකව ක්‍රියාවට නංවන ලද පරිදි, පුළුල් කරන ලද සමාජ ආරක්ෂණ ජාලයක ප්‍රතිලාභ භුක්ති විඳීම පිණිස, සංක්‍රමණික ශ්‍රමිකයින්ට ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමටත්, ඔවුන්ගේ සාමාජිකත්වය දිගටම පවත්වා ගැනීමටත් මෙය ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලියාපදිංචිය අඛණ්ඩව දිරිගැන්වීම සඳහා සංක්‍රමණික සේවකයාට එහි ප්‍රතිලාභ දැනිය යුතු අතර, වඩා හොඳ රක්ෂණ ආවරණයක්, වන්දි යෝජනා ක්‍රම, ශ්‍රී ලංකාවේ ඉතිරිව සිටින පවුල් සඳහා ප්‍රතිලාභ, නැවත පැමිණෙන අයට ආධාර කිරීම විශේෂයෙන් සුදුසු ආරම්භක ස්ථාන සැකසීම සඳහා ඔවුන්ගේ ඉතුරුම් ඥානවන්තව භාවිතා කිරීම ඇතුළු ප්‍රතිසංවිධානය කිරීමේ ව්‍යාපෘති තුළින් මෙම සමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම.
- vi) සියළුම ආර්ථිකයන් පාහේ ඔවුන්ගේ පූර්ව කොවිඩ්-19 වර්ධන මාර්ගය වෙත ආපසු යාමට පෙර, යම් කාලයක් සඳහා අඛණ්ඩව සංකෝචනය වන බව අපි අවබෝධ කරගත යුතුය. වැටුප් කප්පාදුව, රැකියාවෙන් ඉවත් කිරීම, බඳවා ගැනීම් අත්හිටුවීම, මිනිස් බල අවශ්‍යතා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කෘතිම බුද්ධිය ආශ්‍රිත තාක්ෂණයන් භාවිතා කිරීම යනාදිය ‘නව සාමාන්‍ය’ යෙහි කොටසක් වනු ඇත. පශ්චාත් කොවිඩ්- 19 තත්ත්වය තුළ පවතින අවස්ථාවන් අල්ලා ගැනීමේදී සහ අපගේ සමාජවල අසමානතාවයන් අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ආර්ථිකයේ පූර්ණ හැකියාවන් සඳහා තිරසාර වර්ධනයක් සහතික කිරීමේදී, අපි ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් සාමූහිකව ක්‍රියා කළ යුතුය.
2012-2018 දක්වා මා ජිනීවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා ලෙස සේවය කරන ලද කාලය තුළ දී, ශ්‍රී ලංකාව කොළඹ ක්‍රියාවලිය (2013-2017) හි සහ අබුඩාබි සංවාදය (2016-2018) හි මුලසුන දැරූ අතර, එහි දී සංක්‍රමණික සේවකයන්ගේ මෙන්ම සැපයීමේ හා ලැබීමේ රටවල ප්‍රයෝජනය සඳහා පශ්චාත් කොවිඩ් තත්ත්වය තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි ඇතැම් තීරණාත්මක කලාපීය ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආදාන සැලසුම් කිරීමට සහ සැපයීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී තිබේ.
– වැඩි ආදායමක් උපයා ගැනීමට පමණක් නොව, වර්තමානයේ දී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයා, විශේෂයෙන් නුපුහුණු ශ්‍රමිකයන් සාමාන්‍යයෙන් මුහුණ දී ඇති අවදානම්වලට මුහුණ දීමට ඇති ඉඩකඩ අඩු, වඩා හොඳ පුහුණුව ලත් හා නිපුනතාවයෙන් යුතු සංක්‍රමණික ශ්‍රමිකයෙකුගේ බාහිර ප්‍රවාහය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා එමඟින් රජයන්ට අවස්ථාවක් ලබා දෙයි. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ යහපත් වැඩ න්‍යාය පත්‍රයේ අනුග්‍රහය යටතේ, පවතින කුසලතාවලට අනුව අපගේ වෙළඳපල ඉඩකඩ පැහැදිලිව නිර්වචනය කිරීම මඟින් ප්‍රතිපත්ති මට්ටමින් මෙය මෙහෙයවිය යුතුය.
– කොවිඩ්-19 න් පසු රටවල අනාගත රැකියා වෙලඳපොලවල් සහ ආර්ථික ඉල්ලීම් සපුරාලන වෘත්තීය පුහුණු වැඩසටහන් උත්පාදනය කිරීම සඳහා අපගේ වෙළඳපොළ පර්යේෂණ වේදිකා ඒකාබද්ධ කළ යුතු වන අතර, එම ඉල්ලුම සපුරාලන ශ්‍රම බලකායක් දිරිගැන්වීම සඳහා නැවත සැකසීම සිදුකළ යුතුය. ඉන් පසුව මෙම සුදුසුකම් සඳහා අන්‍යොන්‍ය පිළිගැනීම ලබාගැනීම පිණිස අපගේ ද්විපාර්ශ්වික යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතුය. මෙය සුදුසුකම්ලත් ශ්‍රමිකයාට මෙන්ම, ශ්‍රමය සපයන හා ලබාගන්නා රටවලට හෝ පුද්ගලික අංශයේ සේවායෝජකයාට තුන් ආකාරයක ජයග්‍රහණයක් ලබා දෙයි.
– අපගේ අධ්‍යාපන ක්‍රම කඩිනමින් ප්‍රතිනිර්මාණය කළ යුතු අතර, අනාගත ශ්‍රම වෙළඳපොළවල් සඳහා පොහොසත් මානව සම්පත් සංචිතයක් බවට සිසුන් යොමු කිරීම තුළින් රටේ විරැකියා අනුපාතය අඩු කළ යුතුය. සුදුසුකම් ලත් හා නිපුණ ශ්‍රම බලකායක් ජනනය කිරීමට අමතරව, එය ‘අවම වැටුපක්’ සඳහා එකඟ වීමට ඉඩ සලසන අතර, විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වැටුප් හිඩැස් සහ රැකියාවේ ස්ත්‍රී පුරුෂ ඒකාකෘති ඇතුළුව ශ්‍රම වෙලඳපොලවල අසමානතාවයන් සහ වෙනස් කොට සැලකීම් අවම කිරීම සඳහා අපගේ උත්සාහයන්ට එකතු වීමට ඊට හැකිය.
– අප අවධානය යොමු කළ යුතු තවත් වැදගත් අංගයක් වන්නේ, පුද්ගලික අරමුදල් ලෙස සලකා ලාභදායී, ආරක්ෂිත සහ වේගවත් ප්‍රේෂණ ප්‍රවාහ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමට සඳහා කටයුතු කිරීමයි.
– ප්‍රත්‍යාවලෝකනය කිරීමේ දී, කලාපීය වශයෙන් සඳහන් කරන විට, 2016 දී කොළඹ ක්‍රියාවලි න්‍යාය පත්‍රයේ කේන්ද්‍රීය ප්‍රදේශවලට ශ්‍රී ලංකාව එකතු කළ ‘සංක්‍රමණික සෞඛ්‍යය‘ පිළිබඳ ගැටලුව පිළිබඳව අප පසු විපරම් කළේ වී නම්, කොවිඩ් –19 අර්බුදය වඩාත් හොඳින් කළමනාකරණය කිරීමට අපට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි.
නැවත පැමිණෙන අය සම්බන්ධයෙන් මෙය අඩු වන නමුත්, විශේෂයෙන් වෛද්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය සීමිත, ලේඛනගත නොකළ කම්කරුවන් ඇතුළුව සත්කාරක රටවල අතරමංව සිටින අය සම්බන්ධයෙන් වැඩි වෙයි. විශ්ව සෞඛ්‍ය රැකවරණය (UHC) සඳහා අප සැබවින්ම කැපවී සිටින්නේ නම්, මෙම සංක්‍රමණික සේවකයින් අවදානමට ලක් කිරීමෙන් එය සාක්ෂාත් කරගත නොහැකිය.
‘සංක්‍රමණික සෞඛ්‍යය’ සංක්‍රමණික ජනගහනයේ අනාගත කළමනාකරණයේ මුල් ගලක් වන බවට අප සහතික විය යුතුය.
ශ්‍රී ලංකාව තුළ කටයුතු කරන එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන – විශේෂයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අවධානයට මෙම කරුණු ලක්ව ඇති බව මම විශ්වාස කරමි. මෙම ප්‍රයත්නවල ප්‍රතිලාභ අපගේ ජනතාවට ලැබෙන බව සහතික කිරීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ එහි දූත මණ්ඩල ජාලය මෙම ආයතන සමඟ විචාරවත් ලෙස එක්ව කටයුතු කරනු ඇත.