Aboutceylon Online

මන්නාරම, වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය ඉස්සන් වගාව නතර කරන ලෙස ඉල්ලීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාම විශේෂ පාරිසරික පද්ධතියක් වන වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය ඉස්සන් වගා කරන සමාගම් සඳහා ලබාදීමට ඔබතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය  දරන උත්සාහය පිළිබඳ අපගේ බලවත් විරෝධය සහ කණගාටුව මුලින්ම ප්‍රකාශ කර සිටිමු.

මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාම විශේෂ පාරිසරික කලාපයක් වන මෙම වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය උතුරු පළාතේ උපායමාර්ගික පාරිසරික ඇගයීම් (Strategic Environment Assessment) ව්‍යාපෘතිය මගින්  යෝජනා කර, එම ප්‍රදේශයේ ඇති ජෛව විවිධත්වයේ සුවිශේෂී  බව සැලකිල්ලට ගෙන නීත්‍යානුකූලව ගැසට් කර පාර්ලිමේන්තුවේද නිසි පරිදි අනුමත  කරන ලද ස්වභාවික පාරිසරික රක්ෂිතයකි.

අපේ රට පුරාම ඇති මෙවන් විශේෂතා සහිත පාරිසරික කලාප, ප්‍රදේශ හඳුනාගෙන ඒවා සංරක්ෂණය කළ යුතු බවට වූ රාජ්‍ය ප්‍රතිපත්තියක් මත මෙම වෙඩිතලතිව් පාරිසරික කලාපයද 2019 දී ගැසට් පත්‍රයකින් ස්ථාපිත කර තිබේ.



එමෙන්ම අප දන්නා පරිදි මෙම වෙඩිතලතිව් රක්ෂිතය ස්ථාපිත කිරීම  සඳහා වූ ක්‍රියාවලිය එම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උතුරු පළාත් සභාව, සිවිල් සංවිධාන ආදිය සම්බන්ධ කරගෙන සිදුකරන ලද මහජන සහභාගිත්ව ක්‍රියාවලියක් මඟින් හඳුනා ගන්නා ලද්දකි.

එසේ නිසි පරිදි ස්ථාපිත කරන ලද වෙඩිතලතිව් රක්ෂිතය තුළ ඉස්සන් වගාව සඳහා සමාගම්වලට ඉඩ දීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ඔබ ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබේ. එමෙන්ම 2019 දී  පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ගැසට් පත්‍රය අවලංගු කිරීමටද කටයුතු කෙරෙමින් ඇත.



එසේ වුවද මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය පිළිබඳ පරිසරවේදීන් පමණක් නොව අදාළ විෂයභාර දෙපාර්තමේන්තුව  ඇතුළු රාජ්‍ය පාරිසරික ආයතනවල පරිසර නිලධාරීන් විසින් මෙම ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණ මගින්ද යෝජිත ඉස්සන් වගා ව්‍යාපෘතිය මගින් සුවිශාල පාරිසරික හානියක් සිදුවන බව හඳුනාගෙන වාර්තා කර තිබේ.

පසුගිය වසරේදී (2019) විශාල අධ්‍යයනයකින් පසු ගැසට් කරන ලද රක්ෂිතයක්  පාරිසරික වාර්තා මගින් ප්‍රතික්ෂේප කර තිබියදීත්, ඉන් මාස කිහිපයකට පසු, එම ස්වභාවික ප්‍රදේශය රක්ෂිතයක් බවට පත් කරන ලද ගැසට් පත්‍රය පවා අවලංගු කරමින්, මහා පරිමාණ පාරිසරක විනාශයකට පාර කැපීමට ඔබ ඇතුළු කබිනට් මන්ඩලය කටයුතු කරගෙන යෑම මේ රටේ වර්තමාන පරම්පරාවට පමණක් නොව අනාගත පරම්පරාවටද කරන අති විශාල හානියකි.



එම නිසා  පාරිසරික අධ්‍යයන වාර්තාවෙන් ද ප්‍රතික්ෂේප වී ඇති වෙඩිතලතිව් රක්ෂිතයේ ඉස්සන් වගාව හෝ එවන් ව්‍යාපෘති සිදු කිරීම වහාම නතර කරන ලෙසත්,   ගැසට් පත්‍රයක් මගින් ස්ථාපිත කර ඇති  වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතයේ  ගැසට් පත්‍රය අවලංගු නොකරන ලෙසත් ඔබතුමාගෙන් ඉතාම ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

විශේෂයෙන්ම රටේ මහත් ආන්දෝලනයට තුඩු දී ඇති, පාරිසරික ඇගයීම් වාර්තා නොමැතිව සිදුකරන ලද උමා ඔය ව්‍යාපාරය සිදුකර ඇති විනාශය පිළිබඳවත්, ඔබතුමා ඇතුළු කණ්ඩායම සුවිශාල වශයෙන් දේශපාලන වේදිකාවල භාවිත කළ විල්පත්තු වනාන්තරය හා ආශ්‍රිත වනාන්තර පිහිටා ඇති මන්නාරම් දිස්ත්‍රික්කයේම දැනට ගැසට් නීත්‍යානුකූලව ගැසට් කර ඇති රක්ෂිතයක්, ගැසට් පත්‍රයක් අවලංගු කර, පාරිසරික වාර්තා ප්‍රතික්ෂේප කර, අනාගත පරපුරට අයත් මෙම අගනා ස්වභාවික සම්පත ඉස්සන් වගා කරන සමාගම්වලට විකිණීම ජනාධිපතිවරයා සහ ඔබ ඇතුළු ආණ්ඩුව පසුගිය මැතිවරණයේ දී ඉදිරිපත් කරන ලද යෝජනාවලටද, ජනවරමටද පටහැණි බව අවසාන වශයෙන් සඳහන් කරමි.

බිමල් රත්නායක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික ජන බලවේගය අපේක්ෂක

Scroll to Top