Aboutceylon Online

පාසල් විවෘත කිරීම සම්බන්ධව වීශේෂ සාකච්ඡාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

පාසල් යළි විවෘත කරනු ලබන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කිසිදු දෙමාපියෙකු ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.



සෑම පාසලකටම ශරීර උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ, අත්සේදීම සදහා සින්ක් මෙන්ම ගිලන් කාමරයක් බැගින් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඒ සදහා දෙමාපියන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැති බවද අමාත්‍යවරයා කියා සිටිනවා.

දිවයින පුරා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 680 ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.



පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙල ගැන අසත්‍ය ප්‍රචාර පැතිර වීමෙන් වලකින ලෙසද අමාත්‍යවරයා මෙහිදී සියලු දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියා.

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සියලු පළාත් බලධාරීන් සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වගකිව යුතු සියලු පාර්ශ්ව සමග එක්ව ක්‍රියාත්මක කරන ජාතික වැඩපිලිවෙල පිලිබද කරුණු විමසා බැලීමකින් තොරව අසත්‍ය ප්‍රචාර ගෙන යාම හෙළා දකින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරිම සදහා හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

Scroll to Top