කොරෝනා ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභීන්ට සහ අවදානමට ලක් විය හැකි පවුල් හා පුද්ගලයින් සඳහා සහන රැසක් ප්රදානය කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000ක මුදලක් ගෙවීමෙන් දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාර්ය සාධන බලකායට දැනුම් දී ඇති බවයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට නිවෙස් වෙත ලබාදීමට සියලු පියවර ගන්නැයි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
රුපියල් 5,000 දීමනාව ගෙවනු ලබන අය අතරට, වැඩිහිටි දීමනා ලාභීන්, ආබාධිත දීමනා ලාභීන්, ගොවීන්, වකුගඩු රෝගීන් ඇතුළත්ය.
ගැබිණි මවුවරුන් හා මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා ත්‍රිපෝෂ හා වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත සෘජුවම සපයනු ලබන බවද ජනපති කාර්යාල නිවේදනයේ සඳහන්ය.
සමෘද්ධි හිමිකම් ලාභීන්,පොරොත්තු ලේඛනයේ සිටින්නනන් ද රුපියල් 5,000 දීමනාවට හිමිකම් කියනු ඇති.
විශ්‍රාමික රජයේ සේවකයින්ට විශ්‍රාම වැටප් ගෙවන බවද, රජයේ සේවකයින්ට අප්‍රේල් මස වැටුප ගෙවන බවත්,වැටුප මත ණය මුදල් අය කිරීම අත්හිටුවා ඇති බවත් සඳහන්ය.
ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ,ස්වයං රැකියා සඳහා භාවිත කෙරෙන මෝටර් රථ සඳහා ද ඇතැම් පෞද්ගලික ව්‍යාපාර සඳහා ද සහන හිමිකර දී තිබේ.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම හා අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීම වළක්වා ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සුදුසු ක්‍රමවේද මඟින්ම ප්‍රදේශයේ සෑම නිවසකටම සපයා දීම අත්‍යවශ්‍ය සේවාවන්ට සහාය දෙන තොග හා සිල්ලර වෙළෙඳුන්ට ඇඳිරිනීති බලපත්‍ර ලබා දීමට පොලිස්ථාන වෙත නිර්දේශ ඉදිරිපත් කිරිම කළ යුතු වනවා.
මහා භාණ්ඩාගාරය සෑම දිස්ත්‍රික් ලේකම්වරයෙකුටම රුපියල් මිලියන 10 ක අත්තිකාරම් මුදලක් ලබා දී තිබෙනවා. එම මුදලින් තම ප්‍රදේශවල ඇති අතිරික්ත දේශීය නිෂ්පාදන මිලට ගෙන ඒවා සෙසු දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සම්බන්ධීකරණයෙන් ජනතාව අතර සාධාරණ මිලකට බෙදා දීමට කටයුතු කළ යුතුයි.
ගම් මට්ටමේ අවශ්‍ය සේවා සපයන ග්‍රාම නිලධාරී පවුල් සෞඛ්‍ය සේවිකා , ආර්ථික සංවර්ධන , සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන්ට කොට්ඨාසය තුළ ගමනාගමනයට අවශ්‍ය අවසර ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොලිස්ථානාධිපතිවරුන් දැනුවත් කළ යුතුයි.
දෛනික ආදායම් ලබන පුද්ගලයන් වැනි ජීවනෝපාය සලසාගත නොහැකි අවදානම් සහගත පවුල් සඳහා ප්‍රදේශයේ දානපතීන්ගේ හා ස්වෙච්ඡා සංවිධානවල සහාය ඇතිව වියළි සලාක හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කළ යුතුයි.
දානය සපයාගත නොහැකි විහාරස්ථාන හා පිරිවෙන් වෙත වියළි සලාකයක් ලබා දිමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර තිබෙනවා.
අන්‍ය ආගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් මෙවැනි ගැටලු පැන නගින්නේ නම් සුදුසු විකල්ප වැඩසටහන් සකස් කර බුද්ධශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර අදාළ ප්‍රතිපාදන ප්‍රතිපූර්ණය කර ගැනීමට කටයුතු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.