Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉන්දියාව ප්‍රගතිශීලී නීති රාශියක් සම්මත කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේදි ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මංගල විස්සයි විස්සයි ලෝක කුසලාන අවසන් මහා තරඟය කරා ළඟා වෙත්ම වඩා සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ නිහඬ නමුත් කැපී පෙනෙන වෙනසක් සිදුවෙමින් පවතී.

පසුගිය මාස කිහිපය තුළ සමාජීය වශයෙන් ප්‍රගතිශීලී නීති රාශියක් සම්මත කර ගැනීම සඳහා ඉන්දියාව කටයුතු කර තිබේ. නීතිය හමුවේ ප්‍රායෝගිකව හා ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් පිරිපුන් හා ඵලදායි ජීවිතයක් ගත කිරීමේ අයිතිය සහතික කිරීම සඳහා කාන්තාවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ සංක්‍රාන්ති ලිංගිකයන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතා මූලධර්මය දැනටමත් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහි පෙරවදන, මූලික අයිතිවාසිකම්, මූලික යුතුකම් සහ විධානයන්හි ඇතුළත් කර ඇත. ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කාන්තාවන්ට සමානාත්මතාවය ලබා දෙනවා පමණක් නොව, කාන්තාවන්ට පක්ෂව ධනාත්මකව වෙනස් කොට සැලකීමේ පියවරයන් ගැනීමට රජයට බලය ලබා දෙයි.

වැඩි වැඩියෙන් කාන්තාවන් උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අවතීර්ණ වන බැවින් ඉන්දියාව ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ක්ෂේත්‍රයේ අඛණ්ඩව ප්‍රගතියක් ලබා ඇත. ක්ෂුද්‍ර මූල්‍ය සේවා මෙන්ම කාන්තාවන් සඳහා නිපුණතා හා රැකියා වැඩසටහන් රටේ දුෂ්කර  ප්‍රදේශවල සිටින අඩු වරප්‍රසාද ලත් ග්‍රාමීය කාන්තාවන් වෙත ළඟා වෙමින් තිබේ. ලිංගික හිරිහැර, ගෘහස්ථ හිංසනය සහ වේතන ගෙවීම් හි අසමානතා ආමන්ත්‍රණය කිරීම සඳහා වන නීති සම්පාදනය කිරීමද ශක්තිමත් කෙරෙමින් පවතී.

ගම් මට්ටමේ පාලනයේ ප්‍රාදේශීය නායකත්වයේ තනතුරු සඳහා තුනෙන් එකක් කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම, පුතුන් හා දියණියන් අතර ඉඩම් උරුම අයිතිවාසිකම් සමාන කිරීම වැනි සුවිශේෂී ප්‍රතිපත්තිමය තීරණ මගින් යහපත් ප්‍රතිපල පෙන්නුම් කර ඇත. 2015 ජනවාරි මාසයේදී, ගැහැණු දරුවාගේ ආරක්ෂාව සහ සවිබල ගැන්වීම සඳහා වූ Beti Bachao Beti Padhao (දියණිය සුරකින්න, දියණිය දැනුවත් කරන්න යන වැඩසටහන්) ආරම්භ කරන ලද අතර එය ජාතික වශයෙන් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

තිරසාර ආර්ථික වර්ධනයක් සමඟ 2006 සිට 2016 දක්වා කාලය තුළ මිලියන 271 කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට ඉන්දියාවට හැකි වී තිබේ. මෙම වර්ධනය කාන්තාවන්ට වැඩි ආර්ථික හා තීරණ ගැනීමේ අවස්ථාවන් නිර්මාණය කර ඇති අතර එමඟින් පවුලේ ප්‍රමාණය, දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය සහ අධ්‍යාපනය වැනි සමාජීය හා පවුල් තීරණ ගැනීමේදී ඔවුන් සවිබල ගැන්වී ඇත.

මෙම ප්‍රතිලාභ පුළුල් කරමින් ඉන්දීය රජය විසින් වෛද්‍ය හේතු මත ගබ්සාව, ආධාරක ප්‍රජනන තාක්ෂණය සහ ගර්භාෂ කුලියට ලබා දීම වැනි කරුණු සම්බන්ධයෙන් කාන්තාවන්ගේ ප්‍රජනන අයිතීන් ආරක්ෂා කිරීම සඳහා නව නීති මාලාවක් සම්මත කර යෝජනා කර ඇත.

2006 දී ආරම්භ කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව, ඉන්දියානු පාර්ලිමේන්තුව මේ වන විට 2020 වෛද්‍ය හේතු මත  ගර්භණීභාවය අහෝසි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව විවාද කරමින් සිටියි. මෙම පනත මඟින් ස්ත්‍රී දූෂණයකට ලක් වූවන් සඳහා ගබ්සා කිරීමේ කාල සීමාව සති 20 සිට සති 24 දක්වා වැඩි කරයි.

2020 පෙබරවාරි මාසයේදී ඉන්දීය කැබිනට් මණ්ඩලය විසින් ආධාරක ප්‍රජනන තාක්‍ෂණ (ART) නියාමන පනත් කෙටුම්පත අනුමත කරන ලදී. ප්‍රජනන  වෛද්‍ය සංචාරක කර්මාන්තය සැලකිය යුතු ලෙස වර්ධනය වීමත් සමඟ ඉන්දියාව ගෝලීය සාඵල්‍යතා කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

IVF ඇතුළු ආධාරක ප්‍රජනන  තාක්‍ෂණය (ART) මඳ සරු  භාවයෙන් පෙළෙන පුද්ගලයින් විශාල පිරිසකට බලාපොරොත්තුවක් ලබා දී ඇති නමුත් එය නීතිමය, සදාචාරාත්මක හා සමාජීය ගැටලු රාශියක් හඳුන්වා දී ඇත. නියාමනය කිරීමේ අවශ්‍යතාවය බලපෑමට ලක්වූ කාන්තාවන් සහ ළමුන් සූරාකෑමෙන් ආරක්ෂා කිරීම සඳහා ආධාරක ප්‍රජනන  තාක්‍ෂණ සේවා නියාමනය කිරීමේ අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් මතුවී ඇත.

මෙම පනත් කෙටුම්පත මඟින් රටේ ආධාරක ප්‍රජනන තාක්‍ෂණ සේවාවන් සුරක්‍ෂිතව හා සදාචාරාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සලසා ඇත. මෙම පනත් කෙටුම්පත හරහා ජාතික මණ්ඩලයක්, රාජ්‍ය මණ්ඩල, ජාතික ලේඛාධිකාරිය සහ රාජ්‍ය ලියාපදිංචි කිරීමේ බලධාරීන් පිළිවෙළින් ආධාරක ප්‍රජනන තාක්‍ෂණ සායන සහ ආධාරක ප්‍රජනන තාක්‍ෂණ බැංකු නියාමනය හා අධීක්ෂණය කරනු ඇත. බහු කළල බද්ධ කිරීම් ආවරණය කෙරෙන රක්ෂණ ආවරණයක් පරිත්‍යාගශීලීන්ට හිමි වනු ඇති අතර ආධාරක ප්‍රජනන තාක්‍ෂණය තුළින් උපත ලබන දරුවන්ට ජීව විද්‍යාත්මක දරුවන්ට සමාන සියලු අයිතිවාසිකම් ලබා දෙනු ඇත.

මෙම ක්‍ෂේත්‍රයේ ඇති අනෙක් ප්‍රමුඛතම ​​නීතිය වන්නේ 2020 දී සම්මත කරගත් කුලී ගර්භාෂ  (නියාමන) පනත් කෙටුම්පතයි. එමගින් මධ්‍යම මට්ටමින් ජාතික මණ්ඩලය පිහිටුවීම මගින්ද ඉන්දියාවේ කුලී ගර්භාෂ නියාමනය කිරීමට ප්‍රාන්ත හා පාලන ප්‍රදේශ රාජ්‍ය මණ්ඩල සහ සුදුසු බලධාරීන්ද යෝජනා කරයි. මෙම පනත් කෙටුම්පත තේරීම් කමිටුව විසින් විමර්ශනය කර ඇති අතර එම වාර්තාව 2020 පෙබරවාරි 5 වන දින ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාගත කර ඇත.

පනතේ ප්‍රධානතම ප්‍රතිලාභය වන්නේ එය රටේ කුලී ගර්භාෂ කේෂ්ත්‍රය නියාමනය කිරීමයි. මිනිස් කළල කුළියට විකිණීම සහ මිලදී ගැනීම ඇතුළු වාණිජමය කුලී ගර්භාෂ තහනම් කර ඇති අතර, ඉන්දියානු විවාහක යුවළ වලට, ඉන්දියානු සම්භවයක් ඇති විවාහක යුවළ වලට සහ අවිවාහක ඉන්දියානු කාන්තාවන්ට (වැන්දඹු හෝ දික්කසාද පමණක්) කොන්දේසි සපුරන්නේ නම් ආචාරධාර්මිකව කුලී ගර්භාෂ සඳහා අවසර දෙනු ලැබේ. එම නිසා කුලී ගර්භාෂ සැපයීම සදාචාර විරෝධී භාවිතයන් පාලනය කරනු ඇති අතර, කුලී ගර්භාෂ සැපයීම වාණිජකරණය වැළැක්වීම සහ කුලී ගර්භාෂ මවුවරුන් සහ කුලී ගර්භාෂ සැපයීම හරහා උපත ලබන දරුවන් සූරාකෑම තහනම් කරනු ඇත.

සංක්‍රාන්ති ලිංගිකයන් වැනි අනෙකුත් අනතුරට ලක්විය හැකි කණ්ඩායම් වෙත අවධානය යොමු කරමින් ඉන්දියානු රජය විසින් 2019 සංක්‍රාන්ති ලිංගිකයින් (අයිතිවාසිකම් ආරක්ෂා කිරීම) පනත් කෙටුම්පත සම්මත කරන ලදී. මෙම ආන්තිකකරණයට ලක්වූ ජන කොටසට එරෙහි නින්දා කිරීම  වෙනස් කොට සැලකීම සහ අපයෝජනය අවම කිරීම සහ ඔවුන් සමාජයේ ප්‍රධාන ධාරාවට ගෙන ඒම මගින් ඉන්දියාවේ ලක්ෂ 4.80 ක ශක්තිමත් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට මෙම පනත් කෙටුම්පත ප්‍රයෝජනවත් වනු ඇත.

අධ්‍යාපන ආයතන, සේවා නියුක්තිය, සෞඛ්‍ය සේවා යනාදී ක්ෂේත්‍රයන්  තුළ   සංක්‍රාන්ති ලිංගිකයෙකුට එරෙහිව ‘වෙනස් කොට සැලකීම’ සදාචාර නොවන බව මෙම පනත මගින් සහතික කෙරෙන අතර තවත් පියවරක් ඉදිරියට ගොස් ස්වයං-අවබෝධිත ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව පිළිබඳ අයිතිය ජනතාවට ලබා දෙනු ඇත.

මෙම පනත මගින් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන උපදෙස් ලබා දීම, අධීක්ෂණය සහ ඇඟයීම  සඳහා සංක්‍රාන්තික ලිංගිකන් සඳහා වූ  ජාතික කවුන්සිලයක් පිහිටවීම මගින් මෙම පනතේ මුලධර්ම ආරක්ෂා කිරීමට සියලුම පාර්ශවකරුවන් ප්‍රතිචාරාත්මක හා වගකියයුතු කරනු ඇත.  එසේම මෙම පනත් කෙටුම්පත මගින් සංක්‍රාන්ති ලිංගිකයින්ට සිදුවන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් දඩුවම්ද සපයයි.

2011 වසරේදී ඉන්දියාවේ සිදු කරන ලද සංගණනයට අනුව මුළු ජනගහනයෙන් 8.57% ක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන අතර එය 2026 වන විට 12.4% දක්වා ඉහළ යනු ඇත. ඔවුන්ගේ ගෞරවාන්විතව ජීවන අයිතිය සහතික කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි පනත නිල වශයෙන් දෙමාපියන්ගේ හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ නඩත්තුව සහ සුභසාධන පනත ලෙස හැඳින්වේ. මෙම පනත 2007 දී ඉන්දීය පාර්ලිමේන්තුව විසින් බලාත්මක කරන ලදී.

ජ්‍යෙෂ්ඨ  පුරවැසියන්ගේ අයිතිවාසිකම් පුළුල් කිරීම සඳහා සහ ජ්‍යෙෂ්ඨ  පුරවැසියන්ගේ සත්කාර නිවාස සහ නිවෙස් වෙත ගොස් සත්කාර සපයන ඒජන්සි ලියාපදිංචි කිරීම සඳහා මෙම පනත දැන් සංශෝධනය කෙරෙමින් පවතින අතර එවැනි නිවාසවල අවම ප්‍රමිතීන් පවත්වාගෙන යාම සහතික කිරීමට උත්සාහ කරයි.

කාන්තාවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් 2020 මාර්තු 08 වන ඉරිදා ජාත්‍යන්තර කාන්තා දිනයේදී  සිය සමාජ මාධ්‍ය ගිණුම් (මිලියන 130 ක ජනතාවක් එක්ව සිටින) දිරිමත් කාන්තාවන්ට භාර දෙන බව ප්‍රකාශ කර තිබේ.

Scroll to Top