මේ රටේ පොදු ජනතාව බලා සිටින්නේ ඊළග මැතිවරණයෙන් තමන් උකුස්සන් ලෙස හදුන්වා ගන්නා දේශපාලනඥයන් හා කටුස්සන් ලෙස පාට මාරු කරන දේශපාලනඥයන් ගෙදර තබා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ලබා දී තිබෙන ආදර්ශය අනුව රට වෙනුවෙන් කැපවෙන මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීමට බව කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
ඊයේ (02) වැනිදා රුපියල් මිලියන 360ක වියදමින් ඉදිකළ වැලිඔය කර්මාන්තපුරය විවෘත කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
පළමු පොරොන්දුව ඉටු කළා
‘‘මා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගත් පසු මා වෙත ඉදිරිපත් වූ ඉල්ලීම් අතරින් දෙකක් සුවිශේෂයි. පළමුවැන්න තමයි අපේ රජ දරුවන් පවා තම පෙනීම වර්ධනය කිරීම පිණිස යොදාගත් දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම.
මෙම පාරම්පරික කර්මාන්තය අභාවයට යමින් තිබෙන බව මට දැන ගැනීමට ලැබී තිබුණා. ඒ අනුව මා අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගෙන දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට මහනුවර ගිය දිනයේම එම කර්මාන්තයේ නියැලී සිටින පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතා හමුවීමට ගියා. එහි දී මා පොරොන්දු වූවා, මෙම කර්මාන්තය අභාවයට යාම වළක්වා ඊට අවශ්‍ය තාක්ෂණය ලබා දී එය ප්‍රවර්ධනය කර අනාගත පරපුරට භාර දීමට.
එම ඉල්ලීම අනුව මා දුන් ඒ් පොරොන්දුව මට මාර්තු 01 වැනිදා ඉටුකර දීමට හැකි වුණා. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා මෙරට කීර්තිමත් ඇස්කණ්ණාඩි නිෂ්පාදන ආයතනයක් වන ‘විෂන් කෙයා’ ආයතනය යොදා ගනිමින් මම එම කටයුතු සිදු කළා.
අප අමාත්‍යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අවශ්‍ය තාක්ෂණය ලබා දී ඊට සමගාමීව දියතරිප්පු පාෂාණ කැපීමේ සහ ඔප දැමීමේ යන්ත්‍ර දෙකක් ද සවි කළ කුඩා කර්මාන්ත ශාලාවක් ගුණසෝම නවරත්න මහතාගේ පුත් රොෂාන් නවරත්න තරුණයාට ලබා දුන්නා. ඔහු තවත් තරුණයන් 05 දෙනනෙකු සමග මාර්තු 01 වැනිදා සිට තම කුඩා කර්මාන්ත ශාලාවේ වැඩ ඇරඹුවා. ඔවුන් නිපදවනු ලබන දියතරිප්පු ඇස්කණ්ණාඩි තම ප්රදර්ශනාගාරවල ප්‍රදර්ශනය කර අලෙවි කර දීමට විෂන්කෙයා ආයතනය සූදානම්. ඒ අනුව මම දැන් මගේ පළමු පොරොන්දුව ඉටු කර අවසන්.
මා වෙත ඉදිරිපත් වූ ඉල්ලීම් අතුරින් මා සුවිශේෂ කොට සැලකූ දෙවන ඉල්ලීම ඉදිරිපත් වූයේ මා උතුරු – නැගෙනහිර පළාත්වල පිහිටි අප අමාත්‍යාංශය සතුව තිබෙන කර්මාන්ත ශාලා නිරීක්ෂණයට පැමිණි සිව් දින නිල චාරිකාවේ අවසන් දිනයේදීයි. ඒ මට මතක හැටියට 2020 ජනවාරි 18 වැනිදායි. ඉල්ලීම ඉදිරිපත් වූයේ අද විවෘත කෙරෙන සම්පත්නුවර වැලිඔය කර්මාන්තපුර පරිශ්රයේදීයි.
එදින මෙම කර්මාන්තපුර පරිශ්‍රය පැවතියේ වල්බිහිව අතහැර දැමූ තත්වයකයි. මේ පිළිබඳව මට දැනුම්වත් කළේ අද මුලසුන වැඩ සිටින පූජ්‍යපාද ගල්ගමුවේ සංඝබෝධි ස්වාමීන් වහන්සේ සහ අප පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සංවිධායක දමිත් මෙවන් සහෝදරයායි.
මේ ප්‍රදේශයේ විරැකියාවට කඩිනමින් පිළියම් යෙදීමට නම් මෙම කර්මාන්තපුරයට ආයෝජකයන් කැඳවා එය සංවර්ධනය කළ යුතුව තිබුණා. ඒය ඉටුකර දෙන ලෙස කළ ඉල්ලීම තමයි මා වෙත ඉදිරිපත් වූ දෙවැනි සුවිශේෂී ඉල්ලීම ලෙස මා සැලකුවේ. මා ඒම ඉල්ලීම මාර්තු මාසය ආරම්භයේදීම ඉටුකර දීමට පොරොන්දු වූවා. ඒ සඳහා අදාළ නිලධාරීන්ට ජනවාරි 18 වැනිදාම මා උපදෙස් දුන්නා.
අපට ඒම පොරොන්දුවත් ඉටුකර දීමට හැකිව තිබෙනවා. ආයෝජකයන් ගෙන්වා ගෙන කර්මාන්තපුරය සංවර්ධනය කර ප්‍රදේශවාසී තරුණ තරුණියන්ට ප්‍රථම අදියර යටතේ රැකියා 1020ක් ලබා දීමට අද අපට හැකි වුණා. මේ සඳහා ජනවාරි 18 වැනිදා සිටම කැප වූ අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන අංශය භාර අධ්යක්ෂ වින්දික පියරත්න ඇතුළු සියලු නිලධාරීන්ට මම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පිරිනමනවා.
අද දවස ගැන අපූරු විවරණය
අද මාර්තු 02 වැනිදායි. සුද්දාට රට පාවාදුන් උඩරට ගිවිසුම අත්සන් තැබූ දිනය අදයි. සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ සන්ධානයේ ගිවිසුම අත්සන් කරන දිනයත් අදයි. ඒ වගේම එම ගිවිසුම්වලට පණ නොලැබෙන සේ පාර්ලිමේන්තව විසුරුවා හැරෙන්නේත් අදයි. එවැනි දිනයකයි අපි මේ කර්මාන්තපුරයට පණ දෙනු ලැබුවේ.
රැකියා 2500ක්
මෙම කර්මාන්තපුරය මගින් ඉදිරියේ දී ප්‍රදේශයේ රැකියා අපේක්ෂිත දෙදහස් පන්සීයකට රැකියා ලබා දීමට නියමිතයි. ආයෝජන සඳහා ඉදිරිපත්ව ඇති නිව් යුනිවර්ස් කෝපරේට් ක්ලෝතින් පෞද්ගලික ආයතනයේ සහ ස්ටයිලිෂ් කැෂුවල් වෙයා ආයතනය මේ වන විට රුපියල් මිලියන 272.5ක ආයෝජන සිදුකරමින් 1020කට රැකියා ලබාදීමට ඉදිරි මාසය තුළ කටයුතු කරාවි. මාස තුනක් වැනි කෙටි කලකින් අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමට අපි සියලු පියවර ගන්නවා.
බලාපොරොත්තු අත් නොහරිමු!
රෙදිපිළි නිෂ්පාදන ක්ෂේත්රයේ පේටන්ට් බලපත්‍රයකට හිමිකම් කියන කීර්තිමත් ඉංජිනේරුවරයකු වන ආචාර්ය අනුර රත්නායක මහතා මට ඉහත දී අදහස් දැක්වූවා. ඔහු මේ වැලිඔය කටුක පරිසරයෙන් බිහි වූවෙක්. එතුමා ‘ජීවිතය කොතරම් දුෂ්කර වුවත් බලාපොරොත්තු අත්හැර ගත යුතු නැහැ.’ කියන දෙයට හොඳම ආදර්ශයක්. ඒනිසයි මේ වැලිඔය ප්‍රදේශයෙන් ප්‍රථමවරට මොරටුව විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ඔහුට මේ වේදිකාවට ගොඩ වීමට, කතාවක් ලබා දෙන්න කියා මම පැවසුවේ.
මාර්ග නවීකරණයක්!
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ ජනපති ධුරයට පත්වූයේ අප රටක් ලෙස මුහුණ දී ඇති අභියෝග ජයග්‍රහණ කරවීම සඳහායි. අපි මේ ඉදිරියේ ඇති මාර්ගය ද කාපට් මාර්ගයක් ලෙස නවීකරණයට කටයුතු යොදා තිබෙනවා. මේ ප්‍රදේශයේ ජනතාව ජාතිවාදී පදනමින් සිංහල, දෙමළ මුස්ලිම් ලෙස බෙදා දැමීමට ගත් උත්සාහය ද අප පරදවා අවසන්. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමන් අපගේ ඉල්ලීම පරිදි ජාතිවාදී පදනමින් ජනතාව බෙදා හැරීම නවතා නාමල්ගම ආදී ප්‍රදේශ සඳහා වෙනම ප්‍රාදේශීය සභාවක් ද ලබා දීමට කටයුතු යොදා ඇති බව අපි ඔබට සතුටින් දැනුම් දෙනවා.
ඒ වගේම අපි රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යතුමන් සමග ඔබට මහවැලි සංවර්ධන අධිකාරිය තුළින් විසදාගත යුතුව ඇති ගැටලු සම්බන්ධව සාකච්ඡා කළා. ඒ් අනුව ඒතුමන් මෙම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ බවත් මා දැනුම්වත් වූවා. ඔබගේ බොහෝ ගැටලුවලට විසදුම් ලබා දුන් බව ඒතුමා මා හට පැවසුවා. වැලිඔය කර්මාන්තපුරය පමණක් නොවෙයි අපි ඉදිරියේ දී ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලාව, වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව විවෘත කිරීමට පියවර ගනු ලබනවා.
ලංකා පිගන් සංස්ථාවට අයත් ඒ ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලා පරිශ්‍රය නිරීක්ෂණයට ගිය පසුව මට එක් දෙමළ තරුණියක් සැරෙන් කීවා, ‘ඡන්ද කාලයට ඔය වගේ පොරොන්දු දෙනවා’ කියා. මම කීවා, ‘මම මෙහෙන් ඡන්දය ඉල්ලන්නේ නැහැ’ කියා. ඒ් දුව ඇතුළු උතුරේ තරුණ තරුණියන්ට අපට මේ මාසය තුළ ඒ කර්මාන්තශාලාවේ රැකියා දෙන්න පුළුවන් බව සතුටින් කියනවා.
ඒ වගේම ජාතික සම්පතක් වූ වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාවේ නිෂ්පාදන අපි අප්‍රේල් මුල් සතියේ මේ රටේ ජනතාවට ලබා දීමට සූදානම්. ඒමගින් රැකියා ලැබෙන්නේ ඒ අවට සිටින බහුතර දෙමළ හා මුස්ලිම් තරුණ පිරිස් වලටයි. කර්මාන්තශාලා විවෘත වන තරමට රැකියා ලැබෙන්නේ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ පිරිසටයි.
කොරෝනා ආවා නම් කෙරෙන විදිහ
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට ගෝඨාභය රාජපක්ෂ පාලනය සමයේ සලකන බවත් කිසිදු ජාතිවාදී පාපී බලවේගයක අන්තවාදී උවමනාවකට යට නොවන බවත් අපි මේ මොහොතේ අවධාරණය කරනවා. කොරෝනා වසංගතයට මේ ආණ්ඩුව මුහුණ දුන් ආකාරය ඔබ දුටුවා. මම අහගෙනයි ඒක් අයකු කියනවා. ‘මම උකුස්සා වගෙයි ’ කියලා. උකුස්සො රජ කරපු කාලයේ කොරෝනා ආවා නම් බලාගන්න තිබුණා කෙරෙන විදිය. පාස්කු ප්‍රහාරය වන විට මේ උකුස්සො ඔහෙ බලා හිටියා.
මේ රටේ ජනතාව බලා ඉන්නේ ඊළග මහ මැතිවරණයෙන් ‘උකුස්සොයි – කටුස්සොයි ’ ඔක්කොම ගෙවල්වල තියලා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් දී තිබෙන ආදර්ශය අනුව රට වෙනුවෙන් කැපවෙන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්නයි. අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පෙන්වන ආදර්ශයක් තිබෙනවා. එය රැකගත හැකි අයවයි ඔබ පාර්ලිමේන්තු යැවිය යුත්තේ. ‘බලය’ රජයේ මුදල් අවභාවිතයට ලැබුණු ‘පර්මිට් ඒකක්’ කියා හිතපු දේශපාලනඥයන්ට අද පැවැත්මක් නැහැ. ‘ගෝඨාභය රාජපක්ෂ පරිච්ඡේදය’ මේ රට නවමු මාවතකට රැගෙන යමින් තිබෙනවා. ඒ පරිච්ඡේදයට ගැලපෙන මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ.”