Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ස්ථාන මාරු ලැබූ සෞඛ්‍ය කාර්ය සහායකයින්ට නැවත අභියාචනා අවස්ථාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වෘත්තීය ගැටළු විසඳා ගැනීම සම්බන්ධයෙන්  උතුරු මැද පළාත්  ආණ්ඩුකාරතුමන් සහ පළාත් ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේ දී 2020 වාර්ෂික ස්ථාන මාරු ලැබූ සෞඛ්‍ය කාර්ය සහායක ඇතුළු සෙසු නිලධාරීන් සඳහා නැවත අභියාචනා අවස්ථාවක් ලබා දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන් එකඟ විය.

එම තත්ත්වය යටතේ අපගේ වෘත්තීම සංගමය විසින් මේ වන විටත් අභියාචනා කැඳවා ඇති අතර, එම අභියාචනා ලැබෙමින් පවතී.

නමුත් මේ වන විට ස්ථාන මාරු ක්‍රියාත්මක කොට ඇති බැවින් අභියාචනා ඉදිරිපත් කර ඇති එම නිලධාරීන්ගේ වැටුප් නතර කිරීමටත්, කාර්යාල පොතේ අත්සන් කිරීම තහනම් කිරීමටත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නියෝග කර ඇත.

මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම යහපත් රාජ්‍ය සේවයකට නොවටිනා අතර, කාර්ය මණ්ඩල පරිපාලනය පිළිබඳ මනා අවබෝධයක් නොමැති කමින් සහ තම දුර්වලතාවයන් වසන් ගැනීම සඳහා සිදුකරන අමානුෂීය ක්‍රියාවන් බව පෙන්වා දෙන්නෙමු.

එමෙන්ම රජය කෙරෙහි වෛරයක් ඇති කරවීමටත්, රජය පිළිබඳව අප්‍රසාදයක් ඇති කරවීමටත් මෙවැනි ක්‍රියා හේතුවක් වේ.

එබැවින් මැතිවරණයක් ආසන්නව ඇති මෙවැනි මොහොතක දෙපාර්තමේන්තුව තුළ සිදු කෙරෙන අභ්‍යන්තර ස්ථාන මාරු සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීම, වැටුප් අහිමි කිරීම, රාජකාරියට වාර්තා කිරීමට ඉඩ නොදීම වැනි දැඩි මර්ධනකාරී ක්‍රියාමාර්ග ගැනීම කිසිසේත් යෝග්‍ය නොවන අතර, මානව සම්පත් කළමනාකරණයේ දී ද දැඩි මර්ධනකාරී තීරණ ගැනීම දෙපාර්තමේන්තුවක යහ පැවැත්ම පිරිහී යාමටත්, කාර්යක්ෂමතාවය අඩු වීමටත්, සේවා ඵලදායීතාවය අඩු කිරීමටත් ප්‍රභල හේතුවක් ලෙස බලපානු ලබයි.

2019 වර්ෂයේ දී ද මෙම වෘත්තීය සංගමයේ ලේකම්වරයාගේ සහ තවත් සංවර්ධන නිලධාරිනියකගේ ස්ථාන මාරු පිළිබඳ  ආණ්ඩුකාරතුමන් වෙත අභියාචනා ඉදිරිපත් කර තිබියදී කාර්යාලයේ අත්සන් කිරීමට ඉඩ නොදී, වැටුප් අත්හිටුවීමට කටයුතු කළ අතර, ස්ථාන මාරු නියෝග අවලංගු කර ඇතත්, මේ දක්වා එම හිඟ වැටුප් නොගෙවීමටත්, වැටුප් වර්ධක හේතුවක් නොදන්වා අත්හිටුවීමටත්, පසුගිය වර්ෂයේ සහ මෙම වර්ෂයේ අතිකාල, ගමන් වියදම් නොගෙවීමටත් කටයුතු කර ඇත. මෙම වර්ෂයේ ද එවැනි දැඩි මර්ධනකාරී අමානුෂීය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

එමෙන්ම, නැවත අභියාචනා ඉදිරිපත් කළ සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා ඉදිරියේ දී එම අභියාචනා සළකා බලා සුදුසු සහනයන් ලබා දෙන තෙක් ඔවුන් දැනට සිටින සේවා ස්ථානවල සේවය කිරීමට අවස්ථාව සළසා දෙන ලෙසත්, ඔවුන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත් සියලු වගකිවයුතු පාර්ශවයන් වෙත බලකර සිටින්නෙමු.

මේ සම්බන්ධව ඉතා කඩිනමින් පියවර නොගන්නේනම්, සියළුම වෘත්තිකයින් සමග ඒකාබද්ධ වෘතිතීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නෙමු.

Scroll to Top