Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තල් සංවර්ධන මණ්ඩලය හා වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ඇරඹීම පිළිබද අවබෝධතා ගිවිසුමක්  කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී අත්සන් තබනු ලැබීය.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ සහ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ යන මහත්වරුන් විසින් අත්සන් තබල ලද මෙම අවබෝධතා ගිවිසුම ඊට පසුව දෙදෙනා විසින් හුවමාරු කර ගැනීමද සිදුවිය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී විය. දෙමළ බසින් පැවැත්වීමට නියමිත මෙම පාඨමාලාව මගින් ප්‍රථම අදියරේදී තරුණ, තරුණියන් 135 කට ප්‍රතිලාභ ලැබෙන අතර පුහුණු පාඨමාලාවේ කාලසීමාව මාස තුනකි.

යාපනය කයිතඩි ප්‍රදේශයේ පිහිටි තල් සංවර්ධන මණ්ඩලයට අයත් තල් පර්යේෂණ ආයතනයේදී මෙම පාඨමාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇත. වෘත්තීය පුහුණු අධිකාරිය මෙම පාඨමාලාවෙහි වෘත්තීයභාවය පිළිබද නිර්ණායක සකස් කිරීම හා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් නිකුත් කිරීම ආදී කටයුතුවලට මැදිහත් වීමට නියමිතය.

ලොව පළමුවරට තල් ආශ්‍රිත ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කල බවත් එය ඓතිහාසික අවස්ථාවක් බවත් මෙහිදි අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

උතුරේ තරුණ තරුණියන්ගේ විරුකියාව තුරන්කර ඔවුන්ට සුබදායි අනාගතයක දොරටු විවර කිරීමට මෙම පාඨමාලාව උපකාරී වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද විරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Scroll to Top