වසර 106 ක් සුපින්වත්ව ආයු වළඳා පසුගිය පෙබරවාරි 17 වන දින උදෑසන අපවත්වී වදාළ මහරගම සිරි වජිරඤාන ධර්මායතනාධිපති අති ගෞරවාර්හ අම්පිටියේ ශ්‍රී රාහුල ලොකුහාමුදුරුවන් වහන්සේගේ ආදාහන පුණ්‍යෝත්සවය පෙබරවාරි 20 වන බ්‍රහස්පතින්දා ප.ව. 3.00 ට හැව්ලොක් ටවුම හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ සිදුකිරීමට අති ගෞරවණීය මහා සංඝරත්නයේ උපදෙස් මත ආදාහන පුණ්‍යෝත්සව කමිටුව තීරණය කර ඇත.
සිරිලක භික්ෂු පරපුර ව්‍යක්ත, විනීත, විශාරද, බහුශෘත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂු සංඝයා වහන්සේලා බවට පත්වීමෙන් සංඝයාද ශාසනයද බැබලෙන බව උතුම් බුදු වදන ඔස්සේ යමින් අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල ලොකුහාමුදුරුවන් වහන්සේ සිය සාසනික ජීවිතයේදී අධිෂ්ඨානශීලීව කටයුතු කළ සේක.
උන්වහන්සේ රට දැය සමය වෙනුවෙන් උතුම් මහනීය මෙහෙවරක් කරමින් වජිරාරාම සම්ප්රදාය ඔස්සේ එවන් වූම භික්ෂු පරපුරක් ඇතිකිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ සේක.
බම්බලපිටිය වජිරාරාම දහම් පාසලේ ප්රධානාචාර්යන් වහන්සේ වශයෙන් කටයුතු කළ උන්වහන්සේ, අපවත් වී වදාළ පරම පූජනීය අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේ සමඟින් එක්ව මහරගම සිරි වජිරඤාන ධර්මායතනය සහ භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානය නිර්මාණය කළේය.
ඉනික්බිතිව මහරගම සිරි වජිරඤාන දහම් පාසල නිර්මාණය කොට එහි සමාරම්භක ප්රධානාචාර්යන්වහන්සේ වශයෙන් ද කටයුතු සිදු කළ සේක.
මහරගම භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානයේ විනය පාලක අධ්යක්ෂ වශයෙන් දීර්ඝ කාලයක් වැඩ කටයුතු මෙහෙයවූ ලොකු හාමුදුරුවන් වහන්සේ ශාසනයට වැඩ ඇති මහා භික්ෂු පරම්පරාවක් බිහිකරන්නට දූරදර්ශීව කටයුතු කර ඇත.
වජිරාරාම සම්ප්රදායේ ආරණ්‍ය සේනාසන ඇතිකිරීමට පුරෝගාමීව කටයුතු කළ අපවත්වී වදාළ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල ලොකුහාමුදුරුවන් වහන්සේ මහනුවර බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය, දිගන අඹකොටේ තපෝවනය, මිහින්තලේ කටුපොත කන්ද වජිරාරාම ආරණ්‍ය ඇතිකිරීමට මූලික වී කටයුතු කළ මහාතෙර නමකි. මහනුවර ප්‍රිම්රෝස් උයන ධර්මායතනය ආරම්භ කිරීම වෙනුවෙන්ද මූලිකව කටයුතු කළේ ලොකු හාමුදුරුවන් වහන්සේමය.