Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඓතිහාසික මිත්‍රත්වය වෙනුවෙන් චීනයට ආරක්ෂාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහජන චීනය ඇතුළු ලෝකයේ විවිධ රට වල පැතිර යන කොරෝනා වසංගත රෝගයෙන් පීඩාවට පත් ලෝකවාසී ජනතාවට සෙත්පැතීම සහ එම රෝගී තත්වයෙන් මිය ගිය පිරිසට පිං අනුමෝදන් කිරීම සඳහා ජාතික ගුවන් විදුලිය සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ත්‍රෛයිනිකායික නායක ස්වාමීණ්වහන්සේ සහ පරිත්ත භානක දේශකයාණන් වහන්සේගේ වැඩමවීමෙන් 2020.02.21 (සිකුරාදා) රාත්‍රී 9.15 සිට පසුදා පහන් වන තුරු ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී මෙම පිරිත් දේශනාව පැවැත්වේ. සිංහල ස්වදේශීය සේවය ඔස්සේ සර්ව රාත්‍රික පිරිත් දේශනය සජීවීව ප්‍රචාරය කිරීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රධාන ත්‍රිවිධ හමුදාව , පොලීසිය හා රටවාසී ජනතාවට සෙත් පැතීම ද මෙම පරිත්‍රාණ ධර්ම දේශනාවේ තවත් අරමුණකි.

පිරිත යනු ආරක්ෂාවයි. කොරෝනා රෝගය ඇතුළු විවිධ රෝග කාරක තත්වයන්ගෙන් පීඩා විදින සකල ලෝකවාසි ජනතාවට මහානුභාව සම්පන්න පිරිතේ ආරක්ෂාව සැළසීම වෙනුවෙන් ජාතික ගුවන් විදුලිය මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව සංවිධානය කිරීමේ මුලික පරමාර්ථයකි.

මහජන චීන සමුහ ආණ්ඩුව ක්‍රිස්තු පුර්ව යුගයන්හීදී පටන් ශ්‍රී ලංකාව සමඟ මිත්‍ර සබඳතා පැවැත්වු රාජ්‍යයකි. ශ්‍රී ලංකාව නිදහස දිනාගත් අවස්ථාවේ සිට ද එම මිත්‍ර සබඳතා මේ දක්වා අඛණ්ඩව පවත්වා ගනිමින් සිටී.

ඓතිහාසික සේද මාවත චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතා පැවැත්වු ඓතිහාසික ප්‍රවේශ මාර්ගයයි. ශ්‍රී ලංකාව විවිධ අභියෝගයන්ට මුහුණ දුන් අවස්ථා වලදී චීනය මිත්‍ර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි සුහද පිළිවෙතක පිහිටා කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව , චීනය සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ ලබැඳි විදෙස් ප්‍රතිපත්තියකි. කොරෝනා රෝගය පැතිර යන මේ අවස්ථාවේ චීනයේ හිතමිත්‍ර රාජ්‍යයක් ලෙස චීනය වෙත අපගේ සහාය ඵල කිරීමේ අරමුණෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මැනවින් අවබෝධ කර ගෙන තිබේ.

බෞද්ධ දර්ශනයෙන් සහ බෞද්ධ සංස්කෘතියෙන් සුපෝෂිත ශ්‍රී ලාංකීය පුරවැසියා මහානුභාව සම්පන්න පිරිතේ ආරක්ෂාව නානා පීඩාකාරී අවස්ථාවන්හිදී ලබා ගෙන තිබේ. ඒ අනුව ජාතික ගුවන් විදුලිය 2020.02.21 දින සංස්ථා පරිශ්‍රයේදී මහානුභාව සම්පන්න සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වන්නේ පිරිතේ ආරක්ෂාව රටවාසී මෙන්ම ලෝකවාසී ජනතාවට ද ලබා දීම වෙනුවෙනි.

තොරතුරු , සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා සහ ප්‍රමුඛ ආසියානු කලාපයේ තානාපති කාර්යාල නියෝජිතයන් ඇතුළු අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ.

 

Scroll to Top