ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය විය.
මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වත්මත් සභාපතිවරයා පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවත් එය විදේශ අමාත්‍යංශයට හෝ මහා භාණ්ඩාගාරයට ලබාදී ඒ වෙනුවට වෙනත් රථ එකක් හෝ දෙකක් ලබා ගැනීමට බලාපෙරොත්තු වන බවයි. මෙම අදහස් පල වූයේ විදේශසේවා නියුක්ති කාර්යංශය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීයි.
මෙයට අමතරව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය මගින් පවත්වාගෙන යන කුවේට් රටේ සේවා නියුක්තිකයන් සඳහා තමා සේවය කරන රටෙන්ම වන්දි ලබා ගැනීමට හැකි ලෙස ආරම්භ කර ඇති නව රක්ෂණ ක්‍රමය මගින් රක්ෂණ ප්‍රතිලාභීන්ට සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමි වන ප්‍රතිලාභයට වඩා ඉතා වැඩි ආදායමක් අදාල විදේශීය රක්ෂණ ආයතනයට හිමි වන බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.
එහිදී එක් රක්ෂණ ලාභියෙක් වෙනුවෙන් ඔහුගේ විදේශ සේවායෝජකයා විසින් කුවේට් ඩිනාර් 30ක මුදලක් ගෙවිය යුතු අතර ඉන් ඩිනාර් 02ක් පරිපාලන ගාස්තු වශයෙන් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයට ගෙවිය යුත අතර තවත් ඩිනාර් 02ක් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට ගෙවිය යුතුය. ඉතිරි ඩිනාර් 26ම හිමි වන්නේ රක්ෂණ සමාගමටයි. මේ අනුව මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වූ 2015 – 2018 කාග පරිච්ඡේදය තුළ විදේශ සේවායෝජකයින් විසින් සේවකයන් 36,827ක් වෙනුවෙන් රුපියල් 531,137,408ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇති අතර, පරිපාලන ගාස්තු වශයෙන් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයට රුපියල් කෝටි 53(රුපියල් 35,409,000) ක මුදලක්ද ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට රුපියල් 35,409,000 ක මුදලක්ද ලැබී තිබේ. GIRI (Gulf Insurance and reinsurance) නම් රක්ෂණ ආයතනයට රුපියල් 460,319,408 ක මුදලක් ගෙවා ඇති අතර රක්ෂිතයන් වෙත ලැබී ඇති මුදල වන්නේ රුපියල් රුපියල් 21,802,475 ක මුදලක් පමණි.
එම රක්ෂණ සමාගම වන GIRI (Gulf Insurance and reinsurance)නම් රක්ෂණ සමාගම තෝරා ගැනීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය පාරදෘෂ්‍ය නොවන බවත් විදේශීය රක්ෂණ සමාගම තෝරා ගැනීමට අදාල ප්‍රසම්පාදන ගොනු විගණනයට ඉදිරිපත් කර නොමැති නිසා ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර අවම ලංසුව ඉදිරිපත් කළ රක්ෂණ සමාගම තොරා ගත් බවක් තහවුරු වී නොමැති බව විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ. මෙහිදී කෝප් කමිටුවේ ප්‍රශ්න කර සිටියේ ඉදිරිපත් වූ ආයතන අතරින් KHF Takaful වැනි රක්ෂණ ආයතනයකින් කුවේට් ඩිනාර් 18ක් වැනි අඩු මුදලකට රක්ෂණාවරනය මිලදී ගත හැකිව තිබියදී වැඩි මුදලකට මිලදී ගත්තේ කුමන හේතුවක් මතද යන්නයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන්ට ලබාදෙන වෘත්තීය දීමනා, වාර්ෂික රක්ෂණ දීමනා, ප්‍රසාද දීමනා, විශේෂ ප්‍රසාද දීමනා, ප්‍රවාහන දීමනා, ණය පොලී ප්‍රතිපූර්ණය කිරීම, වෛද්‍ය බිල්පත් ප්‍රතිපූර්ණය වැනි දීමනා වලට අමතරව භාණ්ඩාගාරයේ ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව කාර්යංශය විසින් සකස් කරගත් නිර්නායක මත ක්‍රම 06ක් යටතේ කාර්යමණ්ඩල සඳහා දීමනා ගෙවීමට කටයුතු කර තිබීමද කෝප් කමිටුයේ අවධානයට යොමු විය. මේ අනුව එලෙස විධිමත් අනුමැතියකින් තොරව 2018 වර්ෂයේ ගෙවා ඇති මුදල රුපියල් 86,399,621කි.
එමෙන්ම කුවේට් සහ කටාර් රාජ්‍යන් වෙත ශ්‍රමිකයන් යොමු කිරීමේදී අවශ්‍ය වී තිබූ පොලිස් නිශ්කාශන වාර්තා ව්‍යාජ ලෙස ලෙස ඉදිරිපත් කර තිබූ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී රත්නපුර පොලිස් ස්ථානයෙන් අස්ථානගත වී ඇති බවට වාර්තා වී තිබූ පොලිස් වාර්තා පොතකින් නිකුත් කරන ලද ව්‍යාජ පොලිස් නිෂ්කාශන සහතික 35ක් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සහතික කොට විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කර තිබීමද කමිටුව විසින් ප්‍රශ්න කරන ලදී.
මෙම රැස්වීමට කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, එහි සාමාජිකයන් වන අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, රවුෆ් හකීම්, ඩී,වී, චානක, රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යංශය,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ශ්‍රී ලංකා විදේශ රැකියා පුද්ගලික සමාගම යන ආයතන වල නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවා තිබිණි.