පසුගිය රජය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය වත්මන් රජය යටතේත් ක්‍රියාත්මක වූවා නම් පසුගිය ජනවාරි මාසයේ ලෝක ඉන්ධන මිල ඉහළ යන විට ඩීසල් හා පෙට්‍රල් ලීටරයක මෙරට මිල රුපියල් 12කින් ඉහළ යාමට ඉඩ තිබුනා.
වර්තමානයේ ඉන්ධන මිලෙහි යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒකට හේතුව තමයි කොරෝනා වෛරසයත් සමග ලෝක ඉන්ධන වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල පහළ යාම. දැන් සති කිහිපයක සිට මෙම මිල අවම වීම සිදුවෙමින් පවතිනවා. අපි රජයක් වශයෙන් ඒ සම්බන්ධව දැඩි අවධානය යොමු කර තිබෙනවා. පසුගිය රජයේ ඉන්ධන මිල සුත්‍රය තිබුනා නම් දැන් සිදු වන්නේ රුපියල් දෙකකින් පමණ ඉන්ධන ලීටරයක මිල අඩු වීම.
ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල වැඩිවන විට රුපියල් 12කින් වැඩි කර අඩු වන විට රුපියල් 02කින් මිල අඩු කිරීම මහජනතාවට සහන ලබා දීමක් නොවෙයි. ලෝක ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ අපි රජයක් වශයෙන් ඒ බර දරාගෙන පරණ මිලටම ඉන්ධන මහජනතාවට ලබා දුන්නා. අපි ඉන්ධන මිල ශත පහකින්වත් එම අවස්ථාවේ වැඩි කළේ නැහැ.
ඒ වුනාට දැන් ඉන්ධන මිල අවම වෙමින් පවතින නිසා එහි වාසිය අපි රජය වශයෙන් මහජනතාවට දෙන්න සූදානම්. අපේ රජය කිසිසේත්ම මහජනතාවට කිසියම් සහනයක් දිය හැකි නම් ඒවා කප්පාදු කරන රජයක් නොවෙයි. මම විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මේ සම්බන්ධව ගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා සමග සාකච්ඡා කර ඉදිරි දිනවල ඒ සම්බන්ධව තීරණයක් ගන්නවා යැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ අගුනකොලපැලැස්ස ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මාසික වැටුප පරිත්‍යාගයෙන් හා හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාග මගින් හම්බන්තොට දහම් පාසැල් 200ක දරුවන්ට ඉගෙනුම් උපකරණ ලබා දීමේ මැඩ සටහනක් අමාත්‍යවරයා විසින් ආරම්භ කර ඇති අතර එහි තවත් අදියර කිහිපයක් ඊයේ (16) හා පෙරේදා (15) දෙදින තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී පැවැත්විනි.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.