Aboutceylon Online

අධිවේගී මාර්ග සංවර්ධනයේ දී සිදු වූ වංචා, දූෂණ සෙවීම මගේ රාජකාරියක් නොවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය ආණ්ඩු සමයේ අධිවේගී මාර්ග සංවර්ධනයේ දී විවිධ වංචා හා දූෂණ සිදුව ඇති බවට මහජනයා‍ විවිධ පැමිණිලි කළත් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම තමාගේ රාජකාරියක් නොවන බවත් ඒ සඳහා අදාළ ආයතන සහ නිලධාරීන් පරීක්ෂණ සිදුකරනු ඇති බවත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

එතුමා මේ බව පැවසූයේ මාධ්‍යවේදීන් හා අධිවේගී මාර්ග සඳහා තම ඉඩම් ලබාදුන් ජනතාව හමු වී අදහස් දක්වමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ, වංචා දූෂණ පිළිබඳ තීන්දු තීරණ ගැනීම හා පර්යේෂණවලදී දේශපාලන අතපෙවීම් සිදුකිරීම තම ආණ්ඩුවේ ප්‍ර‍තිපත්තියක් නොවන බවත් වඩාත් වාසිදායක ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් ජනතාවට අධිවේගී මාර්ගයන් පහසුවෙන් භාවිත කිරීමට අවශ්‍ය පසුබිම සකස්කිරීම තම රජය සතු වගකීමක් වන බවත් ය.

“අධිවේගී මාර්ගයේ වංචා දූෂණ වුණාද කියලා පරීක්ෂණ පවත්වන්න වෙනම කණ්ඩායමක් ඉන්නවානේ. මම ඇමතිවරයා හැටියට කිසි පරීක්ෂණයක් කරන්නේ නැහැ. අමාත්‍යාංශ මට්ටමින් කරන්න පුළුවන් පරීක්ෂණ මම ආරම්භ කරලා තියෙනවා. හැබැයි නිත්‍යානුකූලව ඒ තියෙන දෙපාර්තමේන්තුවලින් ඒ තියෙන පරීක්ෂණ සිදුකරනවා මිසක් දේශපාලන වශයෙන් කිසිම අතපෙවීමක් අපි ඒ පරීක්ෂණ වලට කරන්නේ නැහැ.

ඒ අපි ඉන්න ප්‍ර‍තිපත්තිය. අපේ ප්‍ර‍තිපත්තිය තමයි වැඩකරන රටක්. සංවර්ධිත රටක්. ආර්ථිකය දියුණුවෙච්ච රටක්, ජනතාව සුරක්ෂිත කරන ආරක්ෂිත රටක් ඇති කිරීම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍ර‍තිපත්තිය එයයි. ඒ ප්‍ර‍තිපත්තිය අනුව තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ.

අපි මූලිකත්වය දෙන්නේ වැඩ කරන්න. පසුගිය ආණ්ඩුව කරපු දේවල් කරන්න නෙවෙයි අපි බලය ලබාගත්තේ. අඩුවෙන් වන්දි ලැබිලා තියෙන අයටත් අපි සාකච්ඡා කරලා ඉවර වෙලා ඒ අඩුපාඩු ටික නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා.

අපේ කාලයේ ගන්න පුළුවන් හොඳම ආයෝජකයා බලලා අපි වැඩ කටයුතු ආරම්භ කරනවා. පසුගිය ආණ්ඩු සමයේ වෙච්ච දේවල් මේ රජය හරහා වෙන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව මේක පැය 24 ම වැඩකරන රටක් බවට පරිවර්තනය කරලා ඉක්මනින් මේ වැඩ කටයුතු අවසන් කරන්න.

මේකෙන් විශාල සේවයක් වෙනවා. රටේ ධනය ඉතිරි වෙනවා. අපේ ජනතාවගේ පෙට්‍ර‍ල්, ඩීසල් වලට යන මුදල ඉතිරි වෙනවා. වාහන වල තත්ත්වයන්ට වන විනාශය මුදල් වලට, අමතර කොටස් වලට වන විනාශය සිදුවෙන්නේ නැහැ. ආර්ථිකයට ලොකු ශක්තියක් වෙනවා. ඒ වගේම ගම අගනගරයට ළං කරන්නේ අධිවේගී මාර්ගය හරහා. ඒක ඉතාමත්ම හොඳ දෙයක්. අපි ඒක නිවැරදිව කරනවා. මේක ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.

නමුත් මේව මේ හොරාකන්න ගිහිල්ලා තමයි පහුගිය ආණ්ඩුවට වැඩ ඉවර කරන්න බැරි වුණේ. ඔවුන් ගියේ හොරකමේ. පොල් හොරා රෑට පොල් හොරකමේ යනවා වගේ හිටපු ඇමතිවරු සහ රජය බැලුවේ අධිවේගී මාර්ගයට බැහැලා කොහොමද කීයක් හරි හොරකම් කරගන්නේ කියලා.

නැත්නම් තමන් හිටපු නුවර දිස්ත්‍රික්කයට අධිවේගී මාර්ගය හදාගන්න තිබුණා. මේකෙ මුල් ගල් තියලා ඔක්කෝම වැඩ ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2018 දී අපි අවසන් කරනවා කියලා තිබුණා. ඒ සංවර්ධනය ආපස්සට ඇදපු යුගයක් ඒක……” යැයි ද ගරු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Scroll to Top