Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කෙසෙල් කෙන්දෙන් හැදෙන රෙදිපිළි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

‘කෙසෙල් කෙන්දෙන් නිෂ්පාදනය කෙරෙන රෙදිපිළි හා ඇඟලුම්’ වැනි නවෝත්පාදන සඳහා සෑමවිටම දිරි දීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු නව රජය කැප වී සිටින බවත් ඒ සඳහා දැනුම, හැකියාව ඇති තරුණතරුණියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය, විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් සංවිධානය කළ ‘කෙසෙල් කෙන්දෙන් නිෂ්පාදනය කෙරෙන රෙදිපිළි හා ඇඟලුම් එළිදැක්වීමේ’ සහ ‘ළමා ඇඳුම් සඳහා සෞඛ්‍යාරක්ෂිතතා සහතිකයක් නිකුත් කිරීමේ’ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

වැදගත්ම අවස්ථාව

“කෙසෙල් තන්තුවෙන් නිපදවූ රෙදිපිළි හා ඇඟලුම් එළිදැක්වීමේ අවස්ථාව, මෙම අමාත්‍යාංශයේ වැඩ භාරගත් ගත් පසු මා සහභාගී වන වැදගත්ම අවස්ථාව ලෙස මා සලකනවා.

අපි මහත් උජාරුවෙන් කියනවා, ‘විජය කුමාරයා ලංකාවට පැමිණෙන විට කුවේණි කපු කටිමින් හිටියා. අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයට ඊටත් එහා ඉතිහාසයක් තිබෙනවා’ කියා.

එහෙම ඉතිහාසයක් තිබුණාට ඊට ගැන ගැලපෙන වර්තමානයක් අද අපට නැහැ. ඊට හේතු වූයේ අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය කඩා වැටෙන ආකාරයට ‘විවෘත ආර්ථික සුළඟ’ හැමීම.

ලෝකයේ ප්‍රබල රටවල් තමන්ගේ රටේ කර්මාන්ත බිඳ වැටෙන ආකාරයට වෙළෙඳපොළ විවෘත කිරීම සිදු කළේ නැහැ. නමුත් අපි අපේ දොරටු විවෘත කළේ ආරක්ෂණ වැඩපිළිවෙළක් නොමැතිව, අපේ කර්මාන්ත හා නිෂ්පාදන බිඳ වැටෙන ආකාරයට. ඒ අවාසනාවන්ත ඉරණමට අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය මුහුණ දුන් බව අපි දන්නවා.

එවැනි තත්වයකට අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය ඇද වැටී තිබියදී තමයි, කෙසෙල් තන්තු යොදා ගෙන මෙරටදී රෙදිපිළි නිෂ්පාදනය කිරීම ඇරඹෙන බවට සුබාරංචියක් ලැබෙන්නේ. අද කාබනික පොහොර යොදාගෙන වගා කෙරෙන ආහාර වර්ගවලට ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති වෙමින් තිබෙනවා.

එසේම කාබනික ද්‍රව්‍ය යොදාගෙන නිපදවන ඇඳුම් පැළඳුම් සඳහා ද ලෝක ප්‍රජාවගේ උනන්දුවක් ඇති වී තිබෙනවා. කපු පු`ඵන් ආශ්‍රිතව නිපදවෙන රෙදිපිළි සඳහා ඉල්ලුම වැඩි වෙමින් තිබියදී තමයි අපට අපේ රටෙන් ඇසෙන්නේ ‘කෙසෙල් තන්තුවෙන් ද රෙදිපිළි නිපදවිය හැකියි’ කියා. එවැනි නිපැයුමක උරුමය අප රටට හිමිවීම ඉමහත් සතුටට කාරණයක්.

මෙම රෙදිපිළි නිෂ්පාදන, ලෝකය පුරා ඒ පිළිබඳ ඉල්ලුමක් ඇති රටවලට රැගෙන යාම අපේ ඉලක්කය විය යුතුයි. මේ නව නිපැයුම හඳුන්වා දීමට කැප වුණු ශ්‍රී ලංකා පේෂකර්මාන්ත හා ඇඟලුම් ආයතනයේ ප්‍රධානීන් හා මොරටුව විශ්වවිද්‍යාලයේ වියතුන්ටත් මාගේ ප්‍රණාමය පුදකර සිටිනවා.

‘කාබනික මූලාශ්‍ර සහිත රෙදිපිළි කර්මාන්තය’

දැනටමත් ලෝකයේ කාබනික මූලාශ්‍ර යොදාගෙන නිපදවන ඇඳුම් ප්‍රමාණය ලොව නිපදවන සමස්ත ඇඳුම් ප්‍රමාණයෙන් 1%ක වෙළඳපොළක් අත්කර ගෙන තිබෙනවා. 2017 වසර තුළ එම කාබනික මූලාශ්‍ර යොදාගෙන නිපද වූ ඇඳුම් සඳහා තිබෙන ඉල්ලුම 10%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලියි, ලෝකයේ අනාගත පාරිභෝගිකයා කාබනික පදනමක් සහිත ආහාර මෙන්ම ඇඳුම් පැළඳුම්වලට ද නැඹුරු වන බව. ඒ නිසා අපි මෙම කෙසෙල් තන්තු රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන සමාජගත කිරීම සඳහා අමාත්‍යාංශය ලෙස කළ හැකි සියල්ල කිරීමට සූදානම්.

‘මම මාධ්‍යකරණයේ නිරතව සිටියානම්…’

මෙම කෙසෙල් කෙඳි රෙදිපිළි හා ඇඟලුම් එළිදැක්වීම සමඟ ළදරු ඇඳුම් සඳහා වන සෞඛ්‍යාරක්‍ෂිතතා සහතිකය එළිදැක්වීම එකම දිනයක සිදු කිරීම යෝග්‍යයැයි මා සිතන්නේ නැහැ. ඊට හේතුව තමයි මෙරට මාධ්‍ය භාවිතය. අද රාත්‍රී 6.55 ප්‍රවෘත්ති විකාශය, මා මාධ්‍යකරණයේ නිරතව සිටියා නම් සකස් වන්නේ ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකක් සහිතවයි. ප්‍රධානතම ශීර්ෂ පාඨය ‘ශ්‍රී ලංකාවේ කෙසෙල් තන්තු ආශ්‍රයෙන් රෙදිපිළි නිපදවීමේ ව්‍යාපෘතියක් ඇරඹෙයි’ යන්නයි, දෙවැන්න ‘ළදරු ඇඳුම් සඳහා ප්‍රමිති සහතිකයක් නිකුත් කරයි’ යන්නයි.

නමුත් අවාසනාවකට අද විනාඩි 10ක්ම වැය වන්නේ රාජිත සේනාරත්න රෝහලේදී අත්අඩංගුවට ගැනීමට, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ අද රැස්වීමට සහ රාජිත බැලීමට රෝහලට යන පිරිසේ ‘වොයිස් කට්’ ආදියටයි.

වෙළඳ දැන්වීම් හා ඉතිරි ‘වොයිස් කට්’ වලින් පසුව වෙලාවක් ඉතිරි වුවහොත් ‘ශ්‍රී ලංකාව කෙසෙල් තන්තුවෙන් රෙදිපිළි නිපදවීම අරඹයි’ යන ප්‍රවෘත්තියත් විකාශය විය හැකිය.

නමුත් ’ළදරු ඇඳුම් සඳහා ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීම’ යන්න කිසිසේත්ම ප්‍රවෘත්තියක් බවට පත් වන්නේ නැහැ. මෙවැනි වැදගත් ප්‍රවෘත්තියක් කැපී යන්නේ දරුවන් සිටින අම්මලා, තාත්තලා පිරිසක් අතින් වීම කනගාටුවට කරුණක්. අපේ රටේ තිබෙන්නේ සෘණාත්මක ප්‍රවෘත්තිවලට ඉල්ලුමක්.

එම ඉල්ලුම හදලා තියෙන්නේ මෙරට ජනමාධ්‍ය විසින්මයි. අද ගෙදර සාලයේ වාඩි වී සිටින්නේ සෘණාත්මක ප්‍රවෘත්තියක් බලාපොරොත්තු වන්නෙක්. ඒ නිසා මෙවැනි ධනාත්මක ප්‍රවෘත්ති කැපී යාමේ ඉඩක් පවතිනවා.
ආර්ථික පෙරළියකට පාර කපමු

අද ලෝකයේ කාබනික මූලාශ්‍ර සහිත රෙදිපිළි නිපදවීමේ ප්‍රමුඛයකු බවට චීනය පත්ව සිටිනවා. උගන්ඩාව, ටැන්සානියාව, පිලිපීනය යන රටවල් ද ඒ අතර වෙනවා. ඒ රටවල ද දේශගුණය අපේ රටට සමානයි. අපේ රටේ කෙසෙල් ගස තරම් බහුලව වැවෙන ගසක් නොමැති තරම්.

ඒ නිසා මෙම කෙසෙල් තන්තු රෙදිපිළි නිෂ්පාදනය අපේ රටේ ආර්ථිකයේ නව පෙරළියකට පාර කපයි. මෙම කාබනික අමුද්‍රව්‍ය සහිත රෙදිපිළි ලෝක වෙළඳපොළට යැවීම අපේ ඉලක්කය විය යුතුයි. ස්විට්සර්ලන්තය, ප්‍රංශය, බෙල්ජියම ආදී රටවල මේ නිමි ඇඳුම් සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. අපි එම ඉල්ලුම සැපිරීමේ සටනකට මුලපිරිය යුතුයි.

‘ළමා ඇඳුමට ප්‍රමිති සහතිකයක්!’

ළමා ඇඳුම ළමයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාවට තර්ජනයක් නොවන බවට ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ද  (27) සිට ශ්‍රී ලංකා පේෂකර්මාන්ත හා ඇඟඵම් ආයතනය SLITA විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නමුත් අද අප ජීවත් වන්නේ අපේ දරුවන්ට පොවන ආනයනික කිරිපිටි, සෞඛ්‍යයට අහිතකර බවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිය පර්යේෂණ මගින් හෙළිකර වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති රටක. ඒ වාර්තාවෙහි ඇති කරුණු අපි පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. ඒ කිසිවක් මේ රටේ මාධ්‍ය මගින් විකාශය කිරීම හෝ පළ කිරීම සිදු වූයේ නැහැ. අදත් මේ කියන කරුණ විකාශය වන්නේ නැහැ.

ඒ ඔවුන්ට ඒ ආනයනික කිරිපිටි සමාගම් විසින් ලබා දෙන වෙළඳ දැන්වීම් අහිමි වන නිසයි. එම වාර්තාවෙන් පෙන්වා දී තිබුණා එම කිරිපිටිවල, ඌරුතෙල් මේදය ලෙස ඇතුළත් කර ඇති බව.

ඒ වගේම අද අපි ඉන්නේ ‘මැස්සෝ වහන්නේ නැති කරවල සහ කූඹි වහන්නේ නැති සීනි’ ඇති රටක. අපි ඉන්නේ වසවිස සහිත ආහාර පරිභෝජන කෙරෙන, එය නැවැත්වීමට ක්‍රියාත්මක විය යුතු රාජ්‍ය ආයතනය කුමන හේතුවකට හෝ ක්‍රියාක්මක නොවන රටක. ඒ නිසා ‘දෙයියනේ’ කියලා අපේ දරුවන්ට ප්‍රමිතිය සහිත ඇඳුමක්වත් ඇඳීමට අවස්ථාවක් ලැබෙනවා නම් එය ඉතා වටිනවා. ඒත් ප්‍රමිතියක් හඳුන්වා දීම ප්‍රමාණවත් නැහැ. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි වැදගත්.

අද ආහාර සඳහා ප්‍රමිතීන් පැවතියත් ඒවා එලෙසම ක්‍රියාත්මක කරනවාදැයි ඕනෑ තරම් සැකසංකා තිබෙනවා. ඒ නිසා අපි ප්‍රමිතියක් හඳුන්වාදීම ප්‍රමාණවත් නැහැ. එයට නිෂ්පාදකයා අනුගත කර ගැනීමයි වැදගත් වන්නේ.

‘පාසල් නිල ඇඳුම් රෙද්දටත් ප්‍රමිතියක්’

පසුගිය ආණ්ඩුව පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර ලබා දුන්නත් ඊට පෙර ආණ්ඩුවෙන් පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීමේදී ඒවායේ ප්‍රමිතිය පිළිබඳව ‘ස්ලිටා’ ආයතනය විසින් සොයා බැලුවා. මා ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා සමගත් සාකච්ජා කොට ‘ස්ලිටා’ ආයතනයේ ප්‍රමිති සහතිකයක් ලබා ගත් රෙදි පමණක් පාසල් නිල ඇඳුම් රෙදි ලෙස පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන සේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. (අත්පොළසන්)

‘නවෝත්පාදන සඳහා දිරි දෙමු!’

Scroll to Top