Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණය ඇරබේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් මෙම මස (26) වන දින පෙරවරු8.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය කියයි.

මේ වසරේ නිමාවත් සමග ශ්‍රී ලංකාවාසීන්ට අත්විඳීමට ලැබෙන මෙම වලයාකාර සූර්යග්‍රහණයේ මධ්‍ය රේඛාව උතුරු ප්‍රදේශයේ යාපනය නගරයට සහ කිලිනොච්චි නගරයට දකුණින් වැටී ඇති අතර මෙම ප්‍රදේශ යා කරන රේඛාවක සිට නරඹන්නෙකුට මෙම වලයාකාර සූර්යග්‍රහණය සමමිතිකව නිරීක්ෂණය කළ හැකි වේ.

මෙම සූර්යග්‍රහණය සෞදි අරාබියෙන් ආරම්භ වී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාව හරහා ගමන් කර ඉන්දියන් සාගරය ඔස්සේ ඉන්දුනීසියාවෙන් පස්වරු 12.20 පමණ අවසන් වේ.

මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවලට චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 93 % ක ට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය වන වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස ද රටේ දකුණු ප්‍රදේශවලට ද චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 85 % ක ට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය වන අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ද දැකිය හැකිය.

සූර්යයා දෙස නිසි ආරක්‍ෂිත ක්‍රම භාවිතා නොකර සෘජුව පියෙවි ඇසින් බැලීමෙන් පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැකි බව‍ කොළබ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

වළයාකාර සූර්යග්‍රහණයක් සිදුවන්නේ කෙසේද

පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදු වේ. එවිට සඳෙහි සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි.

පෘථිවිය හිරුවටා යන කක්ෂ තලයට අංශක 5 ක පමණ ආනතියකින් චන්ද්‍රයා පෘථිවිය වටා කක්ෂගත වන තලය පිහිටා ඇති හෙයින් චන්ද්‍රයා පෘථිවි කක්ෂීය තලය තරණය කරන්නේ වසරකට දෙවරක් පමණි. මෙම වේලාවන් ග්‍රහණ ඇතිවන කාල පරාස වේ.

සූර්යග්‍රහණයක් ඇතිවනුයේ අමාවක දිනකදීය. පෘථිවිය වටා චන්ද්‍රයා පරිබ්‍ර්හමණය වනුයේ වෘතාකාර කක්ෂක නොව ඉලිප්සාකාර කක්‍ෂයකය.

ඉලිප්සාකාර කක්ෂයේ චන්ද්‍රයා පෘථිවියට වඩාත්ම ඈතින් පිහිටන විටකදී සුර්යග්‍රහණයක් සිදුවහොත් වළයාකාර සූර්යග්‍රහණයක් සිදු වේ.

මෙම අවස්ථාවේදී සඳ සාපේක්‍ෂව කුඩාවට පෙනෙන අතර අතර සූර්යයා පූර්ණ ලෙස ග්‍රහණය නොවී ගිනි වලල්ලක් වටේට පිහිටන සේ හිරු තැටිය මත චන්ද්‍රයා කළු ලපයක් සේ දිස්වේ.

සූර්යග්‍රහණය පියවි ඇසින්, දුරේක්ෂයක් මගින්, එක්ස්රේ කාඞ්පත් මගින් හෝ වෙනත් එවැනි නොගැලපෙන ආකාරයන්ගෙන් නිරීක්ෂණය නොකරන්නැයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

එවැනි නිරීක්ෂණයන් මගින් ඇසට බරපතල හානි සිදුවිය හැකි බවයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

ක්ලාක් ධ්‍යස්ථානයේ තාරකා අංශයේ පරීක්ෂණ නිලධාරී ජනක අඩස්සූරිය මහතා කියා සිටියේ වෙල්ඩින් කර්මාන්තයේ දී යොදා ගන්නා කණ්නාඩි හෝ මෙවැනි සිද්ධීන් නිරීක්ෂණය සඳහා විශේෂයෙන් සැකසූ මෙවලම් භාවිත කිරීම ඉතා වැදගත් බවයි.

නැවතත් මෙවැනි වලයාකාර සුර්යග්‍රහණයක් අපට දිස්වනුයේ වසර 12 කට පමණ පසු එනම් 2031, මැයි මස 21 වන දා ය.

Scroll to Top