මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම වෙනුවෙන් නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන රණක්ෂිත යුද්ධ සහ නාවික හමුදා රණවිරුවන් දෙදෙනා හට නාවික හමුදාව සිය දායකත්වය ලබාදීමට කටයුතු කර ඇත.
ඒ අනුව, මෙම පාද යාත්‍රාව සඳහා සහභාගී වන නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරි, එම්බීඩබ් කුමාර සහ යුධ හමුදා සෙබල ආර්ඩබ්පී පියතිස්ස යන රණවිරුවන් දෙදෙනා 2019 නොවැම්බර් මස 22 වන දින ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරය වැඳ පුදා ගැනීමෙන් පසු නාගදීප විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් ඇතුළු ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා ආශිර්වාද මැද ආරම්භ කරන ලද පාද යාත්‍රාව යාපනය, කිලිනොච්චිය, වව්නියාව, අනුරාධපුරය, දඹුල්ල, මහනුවර, හැටන්, ශ්‍රීපාදය, ගිණිගත්හේන, අවිස්සාවෙල්ල, කැළණිය, ගාල්ල, මාතර, කතරගම වෙත පැමිණ අවසානයේ කිරිවෙහෙර පුජා භූමිය වැඳ පුදා ගැනීමට නියමිතය.
තවද, මාතෘ භූමියේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය සහ සාමය ආරක්ෂා කිරීමේ උදාරතර මෙහෙවර ඉටුකර රට දැය වෙනුවෙන් දැස්, දෙපා, දෑත් සහ ශරීර කොටස් කැපකර ආබාධිත තත්වයට පත් විශ්‍රාමික සහ තවමත් සේවය කරන සියළුම ආබාධිත රණවිරුවන් හට ඔවුන්ගේ චිත්ත ධෛර්යය විදහා දැක්වීමේ දැඩි අරමුණින් යුතුව මෙම රණවිරුවන් දෙදෙනා පාද යාත්‍රාව ආරම්භ කරන ලදී.
මෙම පාද යාත්‍රාවේ විශේෂත්වය වන්නේ, නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරි, එම්බීඩබ් කුමාර රණවිරුවගේ පාදය ආබාධයකට ලක්ව තිබීම සහ යුධ හමුදා සෙබල ආර්ඩබ්පී පියතිස්ස රණවිරුවා පූර්ණ දෘෂ්‍යාබාධිතව මෙම පාද යාත්‍රාව සඳහා සහභාගිවීමයි.
තවද, මේවන විට මෙම පාද යාත්‍රාවේ මුළු දුරින් හරි අඩකට වඩා සම්පුර්ණ කර ඇති අතර, 2019 දෙසැම්බර් 14 වන දින මෙම රණවිරුවන් දෙදෙනා කැළණිය රජමහා විහාරය වැඳ පුදා ගැනීමට කටයුතු කරන ලදී. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ යුද්ධ හමුදාවේ පුර්ණ සහයෝගය ඇතිව කැලණිය චෛත්‍ය කංචුක පුජාවක් ද සිදු කරන ලදී. පසුදින එනම්, 2019 දෙසැම්බර් 15 වන දින එම රණවිරුවන් හට කොළඹ පිහිටි නාවික හමුදාවට අයත් ප්‍රදීපාගාර අවන්හල (Light House Galley) මඟින් ප්‍රණීත උදෑසන ආහාරය ලබා දීමට කටයුතු කරන ලදී.
මෙම පාද යාත්‍රාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ යුද්ධ හමුදාධිපතිතුමාගේ පුර්ණ අනුග්‍රහය යටතේ සිදුවන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම මහජනතාවගේ ද සහයෝගය නොඅඩුව ලැබෙමින් පවති.