බුද්ධ ධර්මය සහ පුරා විද්‍යාත්මක ඉතිහාසය විකෘති කරන අන්තවාදී දේශපාලඥයන්ට නිසි දඩුවම් හිමි විය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහ පිරිවෙන් පරිවේණාධිපති පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන් පවසති.
කිසිදු ඉතිහාසඥයෙකු මහා වංශයේ සදහන් කරුණු ප්‍රතික්ෂේප කර නැතැයි අස්ගිරි මහ පිරිවෙනේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කී උන්වහන්සේ එහිදී මෙසේ ද සදහන් කළහ.
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පසුගිය දිනක මහාවංශය ප්‍රබන්ධයක් යැයි ප්‍රකාශය කර තිබුණා. එය හුදෙක් දේශද්‍රෝහී මෙන්ම සිංහල බෞද්ධ ජනතාව ප්රකෝපකාරී කරවන පහත් දේශපාලන අරමුණක් ඔස්සේ කළ ප්‍රකාශයක්.
එය මේ අවස්ථාවේදී තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඒ ප්‍රකාශය පිළිකුළීන් යුතුව හෙළා දකිනවා. රටක ඉතිහාසය හැදෑරීම සඳහා භාවිතා කරන්නේ පැරණි ලිඛිත මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්රයි. මේ පිළිබඳව පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් කිසිදු අවස්ථාවක මහා වංශයේ සදහන් කරුණුවල පරස්පරතාවයක් හදුන්වා දී නැහැ. මහා වංශය පිළිබඳව සැකයක් කර නැහැ.
එවැනි අවස්ථාවක උතුරේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශය සිංහල ජනතාව සහ දෙමළ ජනතාව අතර අසමගියක් ඇති කරවීමට කරපු ජාත්යන්තරාත්මක කුමණ්ත්‍රණයකින් යුතු ප්‍රකාශයක් ද යන්න සැක මතුවෙනවා. ඒ නිසා එවැනි ප්‍රකාශ කරන අයට නිසි දඩුවම් ලබා දිය යුතුය යන්න අපේ මතයයි.
ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණ හමුවේ විවිධ අන්තවාදී ප්‍රකාශ කරන දේශපාලඥයන්ට එරෙහිව දඩුවම් ලබා දිය යුතුයි.
ඉදිරි මහ මැතිවරණයකදී සිංහළ, දෙමළ, මුස්ලිම් ජනතාව සංහිදියාවෙන් යුතුව ජීවත් වන රට ගොඩනැගිය හැකි රට ආරක්ෂා කර ගත හැකි රජයක් පිහිටිවීම කාලෝචිත බව අපේ හැඟීම යැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන් සදහන් කළහ.