ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙන ගාල්ල ඓතිහාසික කොටු පවුරේ පිහිටි පැරණි තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැවී තිබේ.
මේ හේතුවෙන් තැපැල් කාර්යාලය ඉදිරිපස මාර්ගයද පොලීසිය විසින් තාවකාලිකව වසා දමා ඇත.
මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් 2018 දෙසැම්බර් 11 දින සවස 5.45 ට පමණ කඩා වැටී තිබුණ අතර එහි සුන්බුන් වලට යටවී ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයකටද දැඩි අලාභානි සිදු විය. ඒ වන විට මෙම ගොඩනැගිල්ලේ කොටසක් දකුණු පළාතේ ප්‍රධාන නිලධාරීවරයෙකුගේ නිල නිවසක් ලෙසද පවත්වාගෙන යමින් තිබුණි.
මුහුදුබඩ පළාත්වල ඕලන්ද පාලනය පැවති 1668 දී මෙම ගොඩනැගිල්ල ඉදිකළ බව සඳහන්ය. ලන්දේසි පාලන යුගයේ ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවාසය ලෙසද මෙය භාවිතා කර තිබේ. මෙම ගොඩනැගිල්ලේ 1820 දී ගාල්ල තැපැල් කාර්යාලය ආරම්භ කරන ලද අතර එය ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ ආරම්භ වූ පැරණිම තැපැල් කාර්යාල පහෙන් එකකි. මෙයින් පසු කොළඹ සහ ගාල්ල අතර තැපැල් අශ්වකොච්චි සේවය 1832.07.02 දින ආරම්භ කරන ලද්දේ මෙම ගොඩනැගින්න කේන්ද්‍රකර ගෙනය. ඒ සඳහා අශ්වයන් දෙදෙනෙකු බැඳි රියක් යොදාගැනීමට එකල කටයුතු කර තිබුණි.
1744 දී එය බලකොටුවේ ප්‍රධාන ලිපිකරුගේ නිල නිවාසය ලෙසත් 1760 දී පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ වෙළෙඳ කාර්යාලය ලෙසත් යොදා ගෙන තිබේ. එවකට පොත් තබන්නන් 18 දෙනෙක් සහ ලිපිකරුවන් 18 දෙනෙක් මෙහි සේවය කළ බව ඕලන්ද වාර්තාවල සඳහන්වේ. වර්ෂ 1857 දී බ්‍රිතාන්‍ය පාලන කාලයේ මෙම ගොඩනැගිල්ල ගාල්ලේ ටෙලිග්රාෆ් කාර්යාලය ලෙසත් ඊට පසු එය ගාල්ල මහ තැපැල් කාර්යාලය ලෙසත් යොදා ගැණුනි.
ඉදිරිපස විවෘත ආලින්දයකින් යුක්ත තනි මහලේ ගොඩනැගිල්ලක් වන මෙහි පියස්ස රවුම් ආකාරයේ කුලුනු සමූහයක් මත රදා තිබෙන පරිදි ඉදිකර තිබුණි. එය පැරණි ගෘහ නිරිමාණ ශිල්පයේ අපූර්ව නිරිමාණයක් විය. බිත්ති කබොක්ගල්වලින් තනා බදාම කපරාරු කර තිබුණි. මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන තෙක් තාවකාලික විසඳුමක් හෝ යෙදුවානම් ගොඩනැගිල්ල මෙතරම් අබලන් වී විනාශ වන්නේ නැත.
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් අත්පත් කරගත් පෘතුග්‍රීසින් විසින් 1588 දී ගාලු කොටුව ඉදිකර තිබේ. 17 වැනි සියවසේදී මෙරටට පැමිණි ලන්දේසීන් විසින් එය වඩාත් ශක්තිමත් කොට ඉදිකරන ලද අතර වර්තමානයේ දක්නට ලැබෙන්නේ ලන්දේසීන් ඉදිකළ බලකොටුවයි. 1974 දී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කළ ගාලු කොටුව 1988 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේ එහි පිහිටි මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ලද සමගය.
ඓතිහාසික ගාලු කොටුවේ පිහිටි ඉතිරි ගොඩනැගිලි සංරක්ෂණය කර ප්‍රයෝජනවත් කාර්යයකට යොදා ගැනීම වත්මන් රජයේ වගකීම වේ. රජයේ කාර්යාල කෝටි ගණනින් කුලී ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන රටක රජයට අයත් ඓතිහාසික ගොඩනැගිලි නටබුන් වීමට ඉඩ හැරීම ඛේදවාචකයකි.
ඓතිහාසික පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල කඩා වැටී ඇති අයුරු ඉහත 01,02 සහ 03 ඡායාරූප වලත් මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් 2018 දෙසැම්බර් 11 දින කඩාවැටී තිබුණ අයුරු ඉහත 05 සහ 06 ඡායාරූප වලත් දැක්වේ.