මෑත කාලයේදී මහත් ආන්දෝලනයකට ලක්වු ඓතිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා සැරසිලි කර ඇත.
ශ්‍රී ලංකාව තුළ අතරමැදි කලාපයක මෙතෙක් සිදුකර ඇති මෙතරම් පැරණි සාධක අනාවරණය වන ප්‍රථම පුරාවිද්‍යා ස්ථානය මෙය වන අතර මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බෙල්ලන්බැදි පැලැස්සේ සිදුකරන ලද කැනීම්වල කාල නිර්ණය වසර 13,000කට සීමා විය.
බීටා ඇනලයිසීස් ආයතනය විසින් කූරගල ප්රාග් ඓතිහාසික පස් තැන්පතු සඳහා කාල නිර්ණයන් ලබාදී ඇති බවත් එය අදින් වසර 16,000 සිට 6,000දක්වා අවධි පහකට අයත් බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කූරගල කැනීම්වලින් අනාවරණය වන තවත් වැදගත් කරුණක් වනුයේ මෙහි ජීවත් වූ මානවයා මුහුද සමඟ සමීප සබඳතා පැවැත්වීමයි. මුහුදේ ජීවත්වන බෙල්ලන් විශේෂයක් මෙම ස්ථානයෙන් අනාවරණය වන පුරාවස්තු අතර තිබීම මෙම නිගමනයන්ට එළඹීමට පිටුවහල් වී ඇත.
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසත් ක්‍රිස්තු වර්ෂ පළමු සියවසත් අතර කාලයට අයත් බෞද්ධ සංඝාරාමයක් වන කූරගල ඓතිහාසික බිමේ ඇති ගල්ලෙන් ප්රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථාන ලෙස භාවිතයට ගැනිණ. මෙම ස්ථානයේ කැනීම්වලදී සම්පූර්ණ මානවයෙකුගේ ඇටසැකිල්ලක්ද හමුවිය.