ශ්‍රී පාදය බලා යාමට පැමිණි ජර්මන් තරුණ යුවළකගේ අස්ථාන ගතවූ මුදල් පසුම්බියක් නැවත බාර දීමට කටයුතු කළ හැටන් නගරයේ ත්‍රීවීල් රථ රියදුරෙකු ගැන නල්ලතන්නිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
නල්ලතන්නිය බලා යාමට ත්‍රීවීල් රථයක් සොයමින් සිටිය දී හැටන් නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ අසල ත්‍රීවීල් රථ ගාලේ කුලී ගමන් යන ළමා හේවාගේ සුමිත් (51) මහතාට මෙම යුවළ හමුවී ඇත.
අනතුරුව මෙම යුවළ නවාතැන් පහසුකම් සඳහා අන්තර්ජාලය හරහා ඇණවුම් කර ඇති නල්ලතන්නියේ පිහිටි නිවාඩු නිකේතනය බලා සුමිත්ගේ ත්‍රිවීල් රථයෙන් ගමන් ආරම්භ කළහ.
පැයක පමණ කාලයකින් පසුව නල්ලතන්නියේ නිවාඩු නිකේතනයේ මෙම යුවළ බස්සවා සුමිත් ආපසු හැටන් බලා පැමිණ ඇත්තේ, ජර්මන් ජාතික යුවළගේ ඉල්ලිම මත ශ්‍රීපාද කඳු තරණයෙන් අනතුරුව අද (23) උදෑසන නැවත හැටන් නගරයට කැටුව යාමට නල්ලතන්නිය බලා පැමිණෙන පොරොන්දුවෙනි.
සුමිත් එතැන් සිට කථාව අප සමඟ මෙසේ පැවසීය.
“මම දැනට වසර 07 ක පමණ කාලයක් තිස්සේ ත්‍රීවීල් රථ රියදුරෙක් ලෙස හැටන් නගරයේ ප්‍රධාන බස් රථ ගාල ඉදිරිපිට පිහිටි රථ ගාලේ සිට කුලී ගමන් යනවා.
මට දරුවන් දෙදෙකේ සිටිනවා. ඒ අය විවාහකයි.
මෙම රැකියාවට කලින් මම පුද්ගලික් බස් රථ කොන්දොස්තරවරයෙක් ලෙස වසර ගණනක් වැඩ කළා.
ශ්‍රී පාද වන්දනා සමයේ මෙන්ම අවාර සමයේ දී ද මම විදේශිකයින් රැගෙන නල්ලතන්නිය බලා යනවා.
ඊයේ මෙම ජර්මන් යුවළ හමුවුණා. ඒ අය බස්සලා මම හැටන්, “සමණලගම” පිහිටි මගේ නිවසට ගිහින් සුපුරුදු විදිහට ත්‍රීවීල් එක සුද්ද කරද්දී ආසනය යට තිබී මුදල් පසුම්බියක් හමු වුණා.
මා එය හොඳින් පරීක්ෂා කරබලද්දී ශ්‍රී ලංකා රුපියල් 8000/- ක් හා යුරෝ 50 ක් සමග බැංකු පෙට් කාඩ් 03 ක් තිබුණා. පසුම්බියේ ඡායාරූපයක් තිබුණා.
එය මා සමඟ ගිය ජර්මන් කාන්තාවගේ ජායාරූපයබවට හඳුනා ගන්න මට අපහසු වුණේ නෑ.
මම ඒ වෙලාවේම විදේශික යුවළ නවාතැන් ගෙන සිටින නල්ලතන්නියේ හෝටලයේ අංකයට දුරකථන ඇමතුමක් අරගෙන එහි අයිතිකරුට කීවා විදේශික යුවළගේ මුදල් පසුම්බිය ත්‍රීවීල් රථයේ වැටී තිබීමට හමුවූ බවත්, එය මා සන්තකයේ සුරක්ෂිතව තිබෙන බවත්, හෙට දින පැමිණෙන විට රැගෙන එන බව යුවළට දැණුම් දෙන ලෙසත්.
එහිදී හෝටලයේ අයිතිකරු මා හට කියා සිටියා මුදල් පසුම්බිය නැතිවිම සම්බන්ධව මෙම යුවළ දැඩි කළකිරිමකින් සිටි බවත්, මා විසින් එය හමුවූ සිද්ධිය පැවසීමෙන් පසුව දැඩි සතුටකින් පසු වූ බවත්.
අද පෙරවරු 10.00 ට පමණ මට හොටලයෙන් දුරකථන ඇමතුමක් ලැබුණා ශ්‍රීපාදේ ගොස් විදේශිකයින් දෙදෙනා පැමිණ සිටින නිසා කැටුව යාමට එන්න කියල.
මම පැයකින් පමණ හෝටලයට ගියා. එහිදී මම මුදල් පසුම්බිය ඔවුන්ට දුන්නා ඒ අය එය පරීක්ෂ කර බලා මට හදපිරි සතුටින් ස්තූති කළා.
පසුව මම ඒ අය හැටන් නගරයට කැටුව ආවා. එහිදී ඔවුන් මගේ හයර් එකට අමතරව මට සතුටින් රුපියල් 3000/- ක් දී මගේ ත්‍රීවීල් රථයේ ටැංකිය සම්පූර්ණ වීමට පෙට්‍රල් සපයා දුන්නා.”
මෙම ජර්මන් ජාතික එන්. සෙබස්තියන් මහතාගෙන් අප කළ විමසුමකදී හෙතෙම කියා සිටියේ, තමන්ගේ අස්තානගතව තිබී හමුවූ මුදල් පසුම්බියේ ශ්‍රී ලංකා මුදල් රුපියල් 8000/- හා යුරෝ 50 ට අමතරව පෙට් කාඩ් 03 සමඟ එම කාඩ් භාවිතා කර මුදල් ලබා ගැනිමට අවශ්‍ය රහස්‍ය අංකද සටහන් කර තිබූ බවත්, රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න මුදලක් එම කාඩ් භාවිතා කර ලබා ගැනීමට හැකියාව තිබුණ බවත්ය.
මෙම ත්‍රීවිල් රියදුරා ඉතා අවංක පුද්ගලයෙක් බවත්, මෙවැනි අවංක, සත්‍යවාදී පුද්ගලයින් ශ්‍රීලංකාවටම ආඩම්බරයක් බව කියූ හෙතෙම තමන් ජර්මනියට ගොස් තමන්ට විශාල උපකාරයක් කළ ළමා හේවාගේ සුමිත් මහතාට තවත් උදව් කිරීමට පියවර ගන්නා බවත්ය.
තමන් නිතර හෘද්ධ සාක්ෂියට එකඟව අවංකව මෙම රැකියාව කරන බවත්, කිසිම දවසක අසාධාරණ විදිහට හම්බ කර නොමැති බවත්, හරි හම්බ කරන දෙයක් ඉතුරු කර ගැනිමට හැකි බවත්, මෙම ක්‍රියාව නිසා තමන් දැඩි මානසික තෘප්තියක් ලබන බවත් අප සමඟ අවසන් වශයෙන් ළමා හේවාගේ සුමිත් මහතා පැවසීය.
adaderana