නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්රී දළදා මාලිගාවේ දී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබාගත්හ.
ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ශ්රී දළදා මාලිගාවට පැමිණෙන එතුමාගේ මංගල අවස්ථාව මෙය වන අතර එම අවස්ථාව දැක බලා ගැනීම සදහා විශාල ජනකායක් ශ්රී දළදා මාලිගා පරිශ්රයට පැමිණ සිටියෝය.
මහනුවර මහ නගර සභාවේ නගරාධිපති කේසර සේනානායක මහතා විසින් බුලත් හුරුල්ලක් දී ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.
රටේ රාජ්ය නායකයා හිමිවන උත්තරීතර ගෞරවය පළකරමින් රතුපලස මගින් ශ්රී දළදා මාළිගාව කරා ජනාධිපතිවරයා කැදවා ගෙන එනු ලැබූ අතර ශ්රී දළදා මාළිගාව අභියස දී දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා විසින් නව ජනාධිපතිවරයා ගෞරවාදරයෙන් පිළි ගන්නා ලදී. සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරු සහ පිටිසර දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ද මේ අවස්ථාවට සහභාගීව සිටියහ.
දියවඩන නිලමේ වරයා විසින් සම්ප්රදායානුකූලව ජනාධිපතවරයා කැදවා ගෙන යාමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්හ.
නව ජනාධිපතිවරයා දැක බලා ගැනීම සඳහා පැමිණි සිටි විශාල ජනකායෙන් අසලට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් සමඟ මඳ වේලාවක් සුහද පිළිසදරේ නිරත වූහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, සරත් අමුණුගම, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ, ආනන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.