නාග ලෝකය පිළිබඳ අපූරු කතන්දර රාශියක් කැලණි විහාරස්ථානය සහ එගොඩ කැලණි විහාරස්ථානය ආශ්‍රිතව තිබේ. ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වුණු කැලණි පින් බිම අදටත් මිනිස් වෙස් ගත් නාගයන්ගෙන් බහුලව පවතින බවත් එවැනි නාග මානවික මානවිකාවන් මිනිස් වෙසින් පැමිණ කැලණි විහාරය සහ එගොඩ කැලණි රජමහා විහාරය වන්දනාමාන කරන බවත් නූතන ජනප්‍රවාදයෙහි එයි.
කැලණි රජමහා විහාරස්ථානය පිහිටි භූමියට යාබද කැලණි ගංගාව කිමිද නාග ලෝකයට ගිය බව කියන පුද්ගලයකු පිළිබඳ පුවතක් මෙයට වසර දෙකකට පමණ පෙර අපට දැනගන්නට ලැබිණි. දිනක් සවස් වරුවේදී ස්නානය කිරීම සඳහා කැලණි ගෙඟහි කිමිදුනු ඔහු තමාටත් නොදැනීම ගං පතුලටම කිමිද ගියේය.
ඔහුට හුස්ම ගැනීමේ කිසිදු අපහසුවක් දැනුනේ නැත. ගං පතුල බලා පිහිනූ ගමන පැය තුන හතරක් වත් වන්නට ඇතැයි ඔහුට කල්පනා විය. අවසානයේදී ගංපතුලේදී, ජලය නැති ගොඩබිමකට තමා ළඟා වී ඇති බව ඔහුට දැනින. එය මහත්වූ ආලෝකධාරා සහිත ගොඩබිමකි. එම ගොඩබිම පුරා ඉතාම සුන්දර මනුෂ්‍යයෝද ඉතාම සුන්දර කාන්තාවෝද හිඳ සිටියහ. ඔවුන් මධ්‍යයේ වූ උස් ආසනයක වැඩ සිටි ශ්‍රමණ වේශධාරියෙක් ඉතා මියුරු හඬින් පිරිත් ගායනා කළේය.
මෙය නාගලෝකය බවත් ශ්‍රමණ වේශධාරියා භාග්‍යවත් ගෞතම බුදුන් වහන්සේ බවත් ඔහු වටා හිඳ ගෙන පිරිත් අසන පිරිස නාග මානවකයන් සහ නාග මානවිකාවන් බවත්, කිසිදු හේතුවක් නැතිව වූවද කිමිදුම්කාරයාට හැඟී ගියේය. ඒ හාම ඔහුට සිහිපත් වූයේ මේ වූ කලී වසර දහස් ගණනකට පෙර බුදුන් වහන්සේ කැලණියට වැඩම කර මනිඅක්ඛිත නා රජු ප්‍රධාන කරගත් නාග මානවකයන්ට සහ නාග මානවිකාවන්ට ධර්ම දේශනා කළ අවස්ථාව ප්‍රතිනිර්මාණය වී ඇති බවය.
කවරහු ද මේ නාගයෝ?
අප දන්නේ බිජුවටින් උපදින නාගයන් ගැන පමණි. සත්ත්වයන් විෂයෙහි යම් හතර ආකාරයකින් උප්පත්ති සිදු වේ ද ඒ හතර ආකාරයෙන් ම නාගයන් ද උපත ලබන බව ඔබ අසා තිබේ ද? අප නො දුටු ඒ ලොව පිළිබඳ, පෙනෙන, නො පෙනෙන සියලූ ලෝකයන් මැනැවින් අවබෝධ කළා වූ, ඒ සියලූ ලෝකයන්ගෙන් නිදහස් වී වැඩ සිටියා වූ සර්වඥයන් වහන්සේගේ දහම තුළින් ම හැර අන් කවරකින් නම් අප හඳුනා ගන්න ද?
බිත්තරවලින් උපදින්නා වූ නාගයන්, එනම් අණ්ඩජ නාගයන් හැරුණු කොට සංසේදජ, ජලාබුජ හා ඕපපාතික යන ආකාරයන්ගෙන් ද නාගයෝ උපත ලබති. මේ බව භාග්‍යවතුන් වහන්සේ සංයුත්ත නිකායේ නාග සංයුත්තය තුළ විස්තර කොට පෙන්වා වදාළ සේක. මේ අය අතුරෙන් වඩාත් බල සම්පන්න වන්නේ ඕපපාතික නාගයන් ය.
මහාමේරුව පතුල මුර කරනා නාගයන් ගැන කුලාවක ජාතකය තුළ කියැවේ. දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් සුරා බී මත් වූ අසුරයන් මහාමේරුව පත්ලේ පිහිටි අසුර භවනට හෙලූ බවත්, දිව්‍ය සම්පත් තමන්ට අහිමි වූ බව වටහා ගත් අසුරයන් සුර පිරිසට එරෙහිව යුද වැදුණු බවත්, මෙත් සිතින් යුතු වීම නිසා අවසන් මොහොතේ සක් දෙවිඳු යුද්ධය ජයගත් බවත්, ඒ වෙනුවෙන් සහස් යොදුනක් උස වෛජයන්ත ප්‍රාසාදය පැන නැගුණ බවත් එහි සඳහන් ය. අසුරයන් යළි පැමිණීම වළක්වනු පිණිස සක් දෙවිඳුන් පස් තැනෙක රැකවල් ලූ අතර එහි පූර්වාලින්දයේ හිඳ මහාමේරුව පත්ල මුර කරන්නේ නාගයන් ය.
තිරිසන් යෝනියේ උපන්නා වූ නාගයන්ට අධිපතිත්වය දරන්නේ විරූපාක්ෂ නම් වූ වරම් දේවතාවා ය. ‘‘නාගානඤ්ච ආධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ” යනුවෙන් ආටානාටිය සූත්‍රය තුළ ඒ බැව් ප්‍රකාශ කෙරේ.
ආටානාටිය සූත්‍රය තුළ වෛශ්‍රවණ දිව්‍ය රාජයා පවසා සිටින්නේ බුදු සසුන කෙරෙහි පැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් සේ ම අපැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් ද සිටින බව යි. සම්බුදු සසුනක් තුළ සිල් ගුණ දම් රකින්නවුන් කෙරෙහි අප්‍රසාදයෙන් පසු වන්නා වූ ඒ අමනුෂ්‍යයන්ගෙන් සිව්වනක් පිරිසට ඇති විය හැකි උපද්‍රව දුරු කිරීම පිණිස මේ ආටානාටිය ආරක්ෂාව පවසන බව ද වෙසමුණි වරම් දෙව් රජු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කොට ඇත.
භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ ඒ සා අමනුෂ්‍ය බලයක් පැවතී නම් මෙකල ගැන කථා කරන්නට ද දෙයක් නැත. නා ලොව වෙසෙන්නා වූ සියලූ නාගයන් තිසරණ සරණයෙහි පිහිටා නැත. බුදු සසුන කෙරෙහි හිත පහදවා ගත් නාගයන් ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඔවුහු ශාසනාලයෙන් යුතු ව අප සිදු කරන පුණ්‍ය ක්‍රියාවන්ට උපකාර කළ ද බහුතරය සිටින්නේ ඒ පුණ්‍ය ක්‍රියාවන්ට අකුල් හෙළන අසුර සේනාවට අයත්ව බව අමතක නො කළ යුතු ය.
කැළණි විහාරයේ බෝධිය යට පිහිටි නාග ලෝකයට යන අභිරහස් දොරටුව
බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනය වීම සනිටුහන් කරන්නට ඉදි වුණු කැළණි විහාරයට ඉතාම දීර්ඝ වගේම අලංකාර ඉතිහාසයක් තිබෙනවා. අද වන විට කොළඹ අවට පිහිටි ප්‍රධානතම පන්සල් කිහිපයෙන් එකක් තමයි කැළණිය විහාරය.
කැළණිය විහාරය ඉදි වීම පිළිබඳ ඉතිහාස කතාව බොහෝ දෙනෙක් දන්නවා. නාග ගෝත්‍රිකයන් අතර ඇති වෙන්නට ගිය මහා යුද්ධය සමනය කිරීමට කෘතඥතාව පළ කිරීමක් වශයෙන් මනි අක්ඛික නා රජතුමා කළ ආරාධනාවකට අනුව බුද්ධත්වය ලබා අට වන වසරේදී බුදුන් කැළණියට වැඩම කළා. එහිදී බුදුන් වහන්සේ නාග ගෝත්‍රිකයන් උදෙසා ධර්ම දේශනාව සිදු කළ ස්ථානයේ තමයි කැළණි විහාරය ගොඩ නැංවුණේ. මෙහි පූජනීයත්වය තවත් ඉහළ නංවමින් ශ්‍රී මහා බෝධියෙන් පැන නැගුණු අංකුර අටෙන් බිහි වූ එක් අෂ්ඨ ඵලරූහ බෝධීන් වහන්සේ නමකුත් කැළණි විහාරය තුළ රෝපණය කෙරුණා.
කොහොම නමුත් මේ බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙන්නේ එකල නාග ලෝකය සහ මෙලොව අතර දොරටුව තිබුණු තැන ආවරණය වන විදිහට බව දන්නවාද? සාමාන්‍ය බෝධියකට වඩා ඉතාම ගැඹුරු සහ ශක්තිමත් පාදමක් මත මේ බෝධිය රෝපණය කර තිබීමම එයට හොඳ සාක්ෂියක්. පැති තුනකින් එන දිය පහර තුනක් එක්ව සකස් වුණු මේ නාග ලෝකයට යන දොරටුව නාග ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත් අතර සංක්‍රමණ සිදු වූ ද්වාර ස්ථානයයි.
නාගයන් ගැන කතා කරනකොට ඔවුන් වර්ග කෙරෙන ආකාරය දැන සිටීමත් වැදගත්. නාග, දේව නාග, අර්ධ නාග සහ මනු නාග ලෙස නාග කුල හතරක් තිබෙනවා. නාග ලෝකයේ සිටින්නේ මෙයින් නාග කුලය පමණයි. දේව නාගයන් දිව්‍ය ලෝකය තුලත්, මනු නාගයන් මනුෂ්‍ය ලෝකය තුලත් වාසය කරනවා. අර්ධ නාගයන් තමයි නාග ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත් අතර සංක්‍රමණය වෙමින් ජීවත් වුණේ. මනුෂ්‍ය ලෝකයට ආරක්ෂාව සැපයීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරයක් වුණා. බුලත් ඇතුළු නාග ලෝකයෙන් පැමිණි ගස්වැල් ගෙන එන ලද්දේත් මෙසේ අර්ධ නාගයන් විසින් බවයි කියවෙන්නේ.
අර්ධ නාගයන් මනුෂ්‍ය ලෝකයට පැමිණෙන දොරටුව කැලණිය බෝධීන් වහන්සේ රෝපණය කිරීමත් සමග අවහිර කෙරුණා. මෙරටට බුදු දහම ලැබී බෞද්ධ සමාජයක් බිහි වීමත් එක්ක නාගයන්ගේ ආරක්ෂාව අවශ්‍ය නොවුණු නිසා එකල මනු නාග ගෝත්‍රිකයන් සමග ඇති වූ එකඟතාවක් මත මේ දොරටුව වසා දමන්න තීරණය වූ බවයි කියවෙන්නේ.
මේ නිසා අද වන විට භෞතික ස්වරූපයෙන් කිසිදු නාග කුලයකට මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්න හැකියාවක් නැහැ. කොහොම නමුත් බෝධිය රෝපණය කරන විට ලැබුණු විශේෂ අවසරයක් මත චන්ද්‍ර මාසයේ 14,15,16 කියන තිථිවලදී මේ දොරටුව නාග ආත්ම සඳහා විවෘත වෙනවා. එවිට ඔවුන්ගේ මෙලොවට පැමිණ, කැළණිය පන්සලට වැඳුම් පිදුම් කර ආපසු යන බවයි කියවෙන්නේ.