දියණියක් මල්වර වුණාම මුලු පළාතටම කියා උත්සව පවත්වන අය සනීපාරක්ෂක තුවා ගැන කතා කිරීම හොඳ නැති බව කීම විහිළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කරයි.
උතුම් මව් පදවිය ලැබීමට සුදුසු බවට වන පළමු පියවර මල්වර වීම අපේ රටේ හිතක් පපුවක් නැති ඕපපාතික පිරිසකට පමණක් විහිළුවක් වීම කණගාටුවට කරුණක් බව ද ඇය සඳහන් කරයි.
මේ වන විට සියල්ල අභිබවා දේශපාලන වේදිකාවේ විවාදයට හා සාකච්ඡාවට පත් වී තිබෙන්නේ කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කළ කතාවයි. මෙවන් වැදගත් කාලීන මාතෘකාවක් සාකච්ඡාවට ලක් කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ ආඩම්බරයි.
එහෙත් ඕපපාතිකව උපන් පොදුජන පෙරමුණේ ඇමැතිවරියන් හා මන්ත්‍රීවරියන් මෙය දේශපාලන අවියක් ලෙස භාවිතා කරමින් එය සමච්චලයට ලක් කරන අයුරු පසුගිය දින කිහිපය තුළ අපිට දකින්න ලැබුණා.
මේ රටේ කාන්තාවන් ගෙන් කඩේකට ගිහින් සනීපාරක්ෂක පළඳනා මිළ දී ගන්නේ 30%ක් පමණයි. එසේ නම් කාන්තාවන් 70%ක් මේ පිළිබඳ දැනුවත් නැහැ හෝ දැනුවත් නමුත් භාවිතා කරන්නේ නැහැ. ඔවුන් ඒ වෙනුවට විකල්ප ක්‍රම භාවිතා කරනවා. මෙය ජාතික ගැටලුවක් බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගැනීමට සිදු වෙනවා.
දියණියක් මල්වර වීමේ සිට වයස අවුරුදු 50 පමණ වන තුරු සිදු වන ඔසප් වීම සාමාන්‍ය දෙයක්. උතුම් මව් පදවිය ලැබීමට සුදුසු බවට වන පළමු පියවර මෙයයි. මෙය අපේ රටේ දේශපාලනඥයාට විහිළුවක් වන්නේ කොහොමද? ඊට හේතුව පොදුජන පෙරමුණේ ඉන්නේ හිතක් පපුවක් නැති ඕපපාතික පිරිසක්.
නමුත් මේ වන විට ඔවුන් සමච්චලයට ලක් කළ මේ මාතෘකාව පාරා වළල්ලක් වෙලා ඔවුන් වෙතම ඇවිල්ලා තිබෙනවා. මෙවන් මාතෘකාවක් සමච්චලයට ලක් කරන පිරිසක් නම් පොහොට්ටුවේ ඉන්නේ ඔවුන්ව පාලනය කර ගැනීමට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාට හෝ නායකයාට නොහැකි නම් මොවුන් බලයට ආවත් කාන්තාවන්ට වන සාධාරණයක් නැති බව කාන්තාවෝ තේරුම් ගෙන හමාරයි.
මේ මාතෘකාව සාකච්ඡා කළ නිසා සජිත් ප්‍රේමදාස කියන්නේ විහිළුකාරයෙක් බව ඔවුන් කියනවා. මම කියනවා නෑ , ඔහු සැබෑ පිරිමියෙක් බව. පොදුජන පෙරමුණේ පිරිස පිරිමිකම මනින්නේ බීලා ඇවිත් බිරියට ගහනවා නම්, තමන්ගේ බිරිය ළඟ ඉද්දිම පිටිපස්සේ ඉන්න කාන්තාවන්ගේ බඩට ඇඟිල්ලෙන් අනිනවා නම්, ඇහැක් ගහනවා නම් ඒ තමයි නියම පිරිමියා. හැබැයි සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ කටයුතු වලට ඔහුගේ බිරිය සමග ගියොත් ඔහු පිරිමිකමට නිග්‍රහයක්.
තමන්ගේ මවට, බිරියට, සහෝදරියට ආදරය, ගෞරව කරන්න නොහැකි පිරිමියෙක් ඉන්නවා නම් ඔහුට මේ ලෝකේ කිසිම කාන්තාවකට ගරු කිරීමට හෝ ආදරය කිරීමට නොහැකියි. එය ආරම්භ කළ යුත්තේ නිවසින්. සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ තමන්ගේ මවට, නැගණියට, බිරියට අතිශයින් ආදරය කරන, ගෞරව කරන පුද්ගලයෙක්. සජිත් ප්‍රේමදාස මහතා මනින්න අවශ්‍ය ඔහු කාන්තාවන් වෙනුවෙන් මේ දක්වන අවධානයෙන්ම තමයි.
තමුන්ටත් ගැහැණු දරුවන් ඉන්න පොදුජන පෙරමුණේ හිටපු ඇමතිවරයක් සහ මන්ත්‍රීවරියක් සජිත් ප්‍රේමදාස මහතා සනීපාරක්ෂක පළඳනා නොමිලේ ලබා දෙන බව කළ ප්‍රකාශයට දක්වන ප්‍රතිචාර දැක්කම හිතෙනවා මොවුන් කාන්තාවන්ද කියලා. කාන්තාවකට තවත් කාන්තාවකගේ අපහසුතාවය දැනෙන්නේ නැත්නම් අනෙක් අය ගැන බලාපොරොත්තු තබා ගන්න පුලුවන්ද? මේ කතා කරන්නේ කොළඹ සිටින කාන්තාවන් ගැන නෙවෙයි.
ඈත පළාත්වල සමහර දියණියන් දන්නෙත් නැහැ සනීපාරක්ෂක පළඳනා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කියලා හිතන. ඔවුන්ට ඒ සඳහා යන මුදලින් වේලක් පිරිමහ ගන්න පුලුවන්. ඒ වෙනුවට ඔවුන් භාවිතා කරන රෙදි කැබලි සෝදමින් නැවත නැවත පාවිච්චි කිරීම නිසා ජීවිතයේ අප නොහිතන භයානක සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීමට සිදු වන බව ඔවුන් දන්නේ නැහැ. මෙය ආරම්භ කළ යුත්තේ පාසැල් වලිනුයි. දියුණු රටවල පාසැල් වල , පොදු වැසිකිළි වල සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට මැෂින් සවි කර තිබෙනවා.
සීතාවක ප්‍රදේශීය සභා මන්ත්‍රිනි ශෂිනි හෙට්ටිආරච්චි මහත්මිය- අනෙක් සියල්ලටම වැඩිය පිරිමින්ට සමීප කාන්තාවගේ ප්‍රශ්න තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා. මවක් වීමට සුදුසුකම් ලැබූ බව සාද පවත්වා ලෝකයට ප්‍රකාශ කළ හැකි නම් සනීපාරක්ෂක තුවා ගැන කතා කළ නොහැකි ඇයි? ඒ ගැන කතා කිරීම ලජ්ජාවට කරුණක් වන්නේ ඇයි? මේ නිසා මේ කතා කරන මා ඇතුලු කාන්තාවන් ඕනෑ තරම් අපහසුතාවයට පත් වූ අවස්ථා තිබෙනවා. අදටත් එවන් අපහසුතාවයන්ට පත්වන අය එමටයි.
මේ රටේ මිනිසුන් දුප්පත් වී ඇත්තේ ආකල්ප වලිනුයි. ඒ නිසයි කාන්තාවගේ අපහසුතාවය කාන්තාවටම විහිලුවට කාරණයක් වී තිබෙන්නේ. කොහොම වුවත් මෙතෙකක් විවෘතව කතා නොකළ මාතෘකාවක් මැතිවරණ වේදිකාවක් මත හෝ කතා කිරීමෙන් සාකච්ඡාවට ලක් වී ගැන සතුටු වෙනවා. මෙය පාසැල්, විශ්ව විද්‍යාල හා කාර්යාල වල නොමිලේ ලබා දිය හැකි නම් කාන්තාවන්ට විශාල සහනයක් වෙනවා.
මගේ අම්මට තිබුණේ ගැබ් ගෙල පිළිකාවක්. මම විශ්වාස කරනවා ඇය මේ සඳහා රෙදි භාවිතා කිරීමෙන් එම රෝගයට ගොදුරු වූ බව. ඒ නිසා මට වයස අවුරුදු 9 දී ඇය අහිමි වුණා. කාන්තා සනීපාරක්ෂාවට වග කියන නායකයෙක් 52%කට වැඩි කාන්තා ජනගහනයක් සිටින මේ රටට අවශ්‍යයයි. කාන්තාවන්ගේ සනීපාරක්ෂක ගැටලු සමච්චලයට ලක් කරන අයට කාන්තාවන් විසින්ම පාඩමක් උගන්වනු ඇතැයි යනුවෙන් පැවසුවාය.