Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රටේ අනාගතය තරුණයින්ට භාරදිය යුතුයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෑම තරුණයෙකුටම තරුණියකටම ආත්ම ගෞරවයක් සහිතව ජීවත් විය හැකි “ඉන්න හිතෙන රටක් හැදීම” රජයක යුතුකමක් බවත් , නිදහස් අධ්‍යාපනයෙන් උගත් තරුණ තරුණියන් මව්බිම හැර ගොස් විදෙස් රටවලට සේවය කරන්නේ ඔවුන්ට එවැනි රටක් අහිමි වු විට බවත්, බුද්ධිගලනය වැළැක්වීමට නම් සමානාත්මතාවය රජයන අවස්ථාවන් බහුල රටක් නිර්මාණය කළ යුතු බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

නිර්ලෝභීව රටේ වගකීම තරුණ තරුණියන්ගේ උර මතට ලබාදීම තුළින් ඔවුන් අනාගතය වෙත යෝධ පිම්මක් පනිනු ඇති බවට විශ්වාස කළ හැකි යැ’යි ද පැවසූ කරු ජයසුරිය මහතා පෙන්වා දුන්නේ මෑත භාගයේ ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ගේ දස්කම් කිසිදු යුගයකට වඩා ලෝක අවධානයට ලක් ව ඇති බවයි.

කථානායකවරයා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාවේ 41 වන ජාතික යෞවන සම්මාන උළෙලෙහි ප්‍රධාන ආරාධිතා ලෙස එක් වෙමිනි.

මහරගම ජාතික තරුණ සේවා සභා ශාලා පරිශ්‍රයේ පැවති යොවුන් සම්මාන උළෙල අමතමින් හෙතෙම පෙන්වා දුන්නේ 41 වසරක් පුරා ශ්‍රි ලාංකික තාරුණ්‍යයට දීප්තිමත් අනාගතයක් උරුම කර දීම සඳහා ජාතික තරුණ සේවා සභාව ලබාදුන් දායකත්වය මිල කළ නොහැකි බවයි.

1977 සිට තරුණ තරුණියන්ගේ හැකියාව පිළිගනිමින් ඔවුනට අවස්ථාවන් විවර කරදීම උදෙසා ජාතික තරුණ සේවා සභාව කළ මෙහෙවර තුළින් ජීවිත හදාගත් විශිෂ්ඨතමයන් රැසක් බිහි වී ඇති බවද, කථානායකවරයා පැවසීය.

මෙම 41 වන යෞවන සම්මාන උළෙල සඳහා ආර්ථික ප්‍රතිපත්ති සහ යෞවන කටයුතු රාජ්‍ය අමා‍ත්‍යයංශයේ ලේකම් එම්.ජේ.අමීර්, අතිරේක ලේකම් සමන් වඩුගේ , ජාතික තරුණ සේවා සභාවේ සභාපති කණිෂ්ක රාජපක්ෂ, යොවුන් සේනාංකයේ සභාපති කේ.ඒ.එස්.කීරගල යන මහත්වරුද එක් වූහ.

ජාතික යෞවන සම්මාන උළෙල අමතමින් කථානායකවරයා මෙසේද පැවසීය,




“යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ තියුණුම අවධිය තාරුණ්‍යයයි. මේ අවධියේදී ඔබ කොහෙටද යන්නේ කියලා විතරක් නෙවෙයි රට යන්නේ කොතැනටද කියන එකත් තීරණය වීමට ඔබේ ක්‍රියාකලාපය හේතු වෙනවා.‍

තාරුණ්‍යය ඉතාම සටන්කාමීයි, හැඟීම්බරයි, උද්වේගකරයි. ඒ වගේම නිර්මාණශිලීයි.

එය නිවැරදි දිශාවට යොමු කරවීමට මෙවන් යෞවන සම්මාන උළෙලක් දෙන ධෛර්ය හා මඟ පෙන්වීම අතිශයින් වැදගත්. තරුණ වියේදී තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීමට කිසිවිට පසුබට වන්නේ නැහැ.

හැබැයි, අයිතිවාසිකම් වගේම මාතෘ භූමිය වෙනුවෙන් යුතුකම් සමුදායක් ද පවතින බව මතක තබා ගත යුතුයි.සෑම තරුණයෙකුටම, තරුණියකටම “මේක මගේ රට මේ රට තුළ මටත් ගෞරවනීය ජීවිතයක් තිබෙනවා” කියන හැඟීම ඇතිවීමට නම් සමාජයේ පවතින විෂමතා හැකි උපරි‍මයෙන් ඉවත් කල යුතුයි.

ජාතීන් අතර විෂමතා, ආගම් අතර විෂමතා, ආර්ථික විෂමතා මේ ඕනෑම එකක් තුළින් තාරුණයා අන්තවාදය කරාත් එතැනින් ඔබ්බට ත්‍රස්තවාදය කරාත් යොමු කළ හැකියි.

මොකද තරුණ වයසේදී විෂමතාවන්ට විරුද්ධව සටන් කිරිමට පසුබට නොවන නිසා.

එ් නිසා තරුණ තරුණියන් අපේක්ෂා කරන ආර්ථික අසමබරතාවය ඇතුළු විෂමතා තුරන් කිරිමට කටයුතු කළ යුතුයි.

ආගම්වාදය, ජාතිවාදය පිටුදැකීමට කටයුතු කළ යුතුය. සමානාත්මතාවය වර්ධනය කළ යුතුයැ’යි මා විශ්වාස කරනවා.මෙහිදී අධ්‍යාපනය ඉතාම වැදගත්.

විශේෂයෙන්ම ආර්ථික විෂමතාවය මඟින් ඇති කරන දුප්පත්කමේ පවුර බිඳගෙන සෑම තරුණ තරුණියකටම ජිවීත දිනාගන්න පුළුවන් මාර්ගය අධ්‍යාපනය තුළින් විවෘත කරගත හැකියි.

එහිදී වත්මන් රජය මඟින් ඇති කළ වැදගත් ප්‍රතිසංස්කරණයක් ලෙස ‘වසර 13 ක අධ්‍යාපනය තහවුරු කිරිම’ දේශපාලනයෙන් තොරව කාගේත් අගය කිරිමට ලක් විය යුතුයි.




මින් ඉදිරියට හෝඩිය පන්තියෙන් ඇතුළු වන සෑම දරුවෙක්ම පාසලෙන් ඉවත් වන්නේ වසර 13 ක අධ්‍යාපනය නිම කළ සුදුසුකම් සහිත කෙනෙක් විදියටයි.

තව වසර කිහිපයක් යන කොට දුප්පත් – පොහොසත් භේදයකින් තොරව, ජාති ආගම් භේදයක් නැතිව හැම දරුවෙක්ම උසස් පෙළ සමතෙක් කරන්න පුළුවන් නම්, ඒ තුළින්ම බොහෝ විෂමතාවලට පිළිතුරු ලැබෙනවා.

වත්මන් තරුණ තරුණියන්ට තරඟය තිබෙන්නේ අපේ රටේ මිලියන විසි දෙකක් වු ජනතාව අතර පමණක් නොවෙයි. ඔබ ලෝකය සමඟ තරඟ කළ යුතුයි. එම තරඟය ජයග්‍රහණය කළ යුතුයි.

ශ්‍රි ලාංකික තරුණ තරුණියක්ට එය කළ හැකි බව පසුගිය දිනවල ලෝකයේ ප්‍රදර්ශනය කෙරුණු ( රාවණා චන්ද්‍රකාව හදපු තරුණයා සහ තරුණිය.)

එවැනි සැඟවුණු දක්ෂතා සහිත විශාල පිරිසක් අපේ රට තුළ සිටිනවා. ඔවුන් කරලියට ගෙන ඒම සඳහා ජාතික තරුණ සේවා සභාව එදා මෙදා තුර ඉටුකළ කාර්යභාරය අතිශයින්ම වැදගත්.

මේ මොහොතේ අපිට යුතුකමක් තිබෙනව‍ා මෙම ජාතික තරුණ සේවා සභාව බිහි කළ ඒ නිර්මාතෘ වත්මන් ගරු අග්‍රාමාත්‍යතුමන්වත් සිහි කරන්න.

ලෝකය සමඟ තරඟයේදී පරිගණක සාක්ෂරතාව අද අනිවාර්ය අංගයක් වී තිබෙනවා.




දැනුම ධනය වූ, දැනුම බලය වූ, සමාජයකට ඔබ පිවිස සිටින්නේ.හැබැයි ඔබ මතක තබාගත යුතුයි දැනුමින් පමණක් සන්නද්ධ වු විට පිරිපුන් මිනිසෙකු බිහි නොවන බව.

තමන්ගේ සංස්කෘතිය හර පද්ධතියට ආදරය කරන අනෙකුත් සංස්කෘතීන්ට ගරු කරන , සෞන්දර්ය රසවින්දයක් සහිත සංවේදී පුද්ගලයෙක් වීමත් ඉතාම වැදගත්.

මාතෘ භූමිය වෙනුවෙන්, සෙසු සමාජය වෙනුවෙන් තමන්ගේ වගකීම් යුතුකම් තේරුම් ගැනීමට එම හැඩගැසීම අත්‍යාවශයයි.

මගේ පාසල් දිවිය නිම වෙලා තරුණයෙක් හැටියට මුලින්ම බැඳුනේ යුධ හමුදාවට. හමුදා දිවිය තුළින් අපට විශාල විනයක්, හික්මීමක්, ජිවිතයට ලබාගන්න පුළුවන් වුණා.

ලෝකේ කොතැන ගියත්, කවර තනතුරු දැරුවත්, අප තුළ ඒ හැඟිම අඩු වුණේ නෑ.

මෙහිදී ජීවිතය අත නොහැර අප්‍රතිහත ධෛර්යෙන් යුතුව සාර්ථකත්වය හඹා යන ලෙස තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටි කථානායකවරයා පෞද්ගලික සාර්ථකත්වය අත්පත් කරගැනීමට මෙන්ම මාතෘ භුමියට යුතුකම් ඉටු කිරිමට කැප වන ලෙසද ඉල්ලා සිටියේය.

Scroll to Top