ත්රස්තවාදයක් යළි මෙරට හිස එසවිය නොහැකි ලෙස යොදන ලද ආරක්ෂක සැලැස්ම වත්මන් රජය විසින් සම්පූර්ණයෙන් ම බිද දමා ජනතාව අතර අවිශ්වාසයක් ගොඩ නගා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
තිස් වසරක යුද්ධය නිමා කොට එවැනි යුද්ධයක් යළි මෙරට ඇති නොවීමට පියවර ගත් නමුත් වත්මන් රජය ක්‍රියා කළේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව යයි හතරලියද්දේ දී පැවති ජන හමුවකට සහභාගී වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි.
ආරක්ෂක වැඩපිළිවෙල බිඳ දැමූ වත්මන් රජය ආරක්ෂක අංශ නිලධාරීන්ගේ මානසිකත්වය බිඳ දැමීමට ද බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීමට පියවර ගත් බව කීවේය.
සිංහල, දෙමළ, මුස්ලිම් වැනි ජාතීන් අතර බියක් සහ සැකයක් නිර්මාණය වීමට ද පාස්කු ප්‍රහාරය සිදු වීමටද හේතු වූයේ රජය ගෙන ගිය අක්‍රමවත් වැඩපිළිවෙළ නිසා යැයි කී ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
අද ජනතාව පන්සලකට කෝවිලකට පල්ලියකට යන්න බයයි. නමුත් අපේ රජයක් යටතේ කිසිදු අයුරකින් අන්තවාදයක් හෝ ත්‍රස්තවාදයකට හිස එසවීමට ඉඩ තබන්නේ නැහැ. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරනවා.
කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කරන අතර දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමට ද පියවර ගන්නවා. ගුණාත්මක තත්වයෙන් වැඩි සුදුසු අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිලිවෙල යොදනවා.
අද තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් විරැකියාව නිසා අසහන තාවයකට පත්ව සිටිනවා. උපාධිධාරී තරුණ තරුණියන් ද ඒ අතර විශාල ප්‍රමාණයක් ඉන්නවා. උසස් පෙළ සමත් වන සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල වරම් ලබා දෙනවා පමණක් නොව යටිතල පහසුකම් ඉහළ නංවා සෑම පාඨමාලාවක් සඳහා ම තොරතුරු තාක්ෂණය ආදිය ඇතුළත් කිරීමට ද කටයුතු කරනවා.
තොරතුරු තාක්ෂණය හේතුවෙන් ඉන්දියාවේ සිට චීනය දක්වා මෙම ආසියානු කලාපයේ බොහෝ රටවල් විශාල දියුණුවක් ලබා සිටිනවා. තොරතුරු තාක්ෂණයේ නියුතු ආයතන ඩොලර් බිලියනයක පමණ ආදායමක් ශ්‍රී ලංකාවට හිමි කර දෙන අතර එය ඩොලර් බිලියන තුනේ සිට පහ දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතයි.
සංචාරක ක්ෂේත්රය දියුණු කිරීමට අපේක්ෂා කරන අතර ඊට සම්බන්ධ සංචාරක මගපෙන්වන්නන්, භාෂා පරිවර්තකයන්, හෝටල් ක්ෂේත්රය ආදියෙහි විශාල ඉල්ලුමක් සහ ගුණාත්මක තත්ත්වය වර්ධනයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා.
කාන්තා හිංසනය වැළැක්වීමට පියවර ගන්නා අතර ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරියේදී යෝජනා වෙයි. ජීවන බර ඉහළ යාම නිසා විශාල වශයෙන් පීඩාවට පත්වන්නේ කාන්තාවයි. ඒ නිසා ඔවුන්ගේ ගැටලු සඳහා මේ තුළින් නිසි ස්ථීර විසඳුමක් ලබාදීමටයි අපේක්ෂා කරන්නේ.
ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ප්‍රවේශ මාර්ග ඉදිකළ යුතු අතර එය කොළඹට හඳුන්වා දීම ආරම්භ කළේ මමයි. ගොඩනැගිලි ඉදිකිරීමේදී රෝදපුටුවක් ගෙනයාමට හැකි තත්ත්වයක් බව සකස් කළා. ඒ නිසා ඒ තුළින් ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් මම යෝජනා කරනවා.
සාමාන්‍ය ජන ජීවිතයේ දී පමණක් නොව රැකියා සිදුකරන විට සහ ඡන්දය ලබා දීමේදී ද ඔවුන් වෙනුවෙන් අයිතිවාසිකම් සහිත ප්රඥප්තියක් ඉදිරියේ දී සකස් කර සම්මත කරගැනීමට අපේක්ෂා කරනවා.
මගේ ප්‍රතිපත්ති ප්රකාශනය තුළ රටට වැදගත් ප්‍රායෝගික වැඩ පිළිවෙළ රැසක් යෝජනා කර තිබෙනවා. අපි අභියෝග භාර ගෙන, අභියෝග ජය ගත්තු පිරිසක්. මම ලබාගත්තු අභියෝග සියයට සීයක්ම සම්පූර්ණ කර තිබෙනවා.
ඔබතුමාලගේ යුතුකම ඔබ ඉටු කරන්න. මගේ යුතුකම වන සෞභාග්‍යවත් අභිමානවත් දේශයක් ලබා දෙන බව පොරොන්දුව ඉටුකරනවා යැයි ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා විපක්ෂ නයක මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරු ඇතුලු මහජන නියෝජිතයන්, ආසන සංවිධායකයන් ද පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.