Aboutceylon Online

ගෝඨා ආණ්ඩුවේ වැට් 8% යි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියාව සිට චීනය දක්වා තිබෙන රටවල් වල සංචාරකයින් විශාල වශයෙන් අපේ රටට ගෙන්වා ගත හැකියි. ඒ සදහා ආගමන විගමන නීති රීති ලිහිල් කරන්න ඕනෑ. බදු ගෙවන්න සරල පහසු බදු ක්‍රමයක් හදුන්වා දෙනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරනවා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා අහුන්ගල්ලේදී ප්‍රකාශ කළේය.

විවිධ ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න මේ රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණ බවත් වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබදව තැකීමක් නොකල නිසා නැවත රටේ බෝම්භ පිපිරෙන්න පටන් ගත් බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

අහුන්ගල්ල නගරයේදී ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන රැලියේදී එසේ ප්‍රකාශ කල ඒ මහතා මෙසේද කීය.

පාස්කූ ප්‍රහාරට මාස කිහිපයකට පමණ පෙර සිටම යම් පහර දීමක් සිදුවන බවට වත්මන් රජයට විදේශ බුද්ධි අංශ හරහා පවා දැනුම් දී තිබුණා. එය වලක්වා ගන්න රජය අපොහොසත් වුණා. රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබදව මේ රජයට අවබෝධයක්, අවශ්‍යතාවයක් නැහැ. අපි මේ රටේ රණවිරුවන්ගේ අභිමානය නැවත ඇති කරනවා. රට තුල කිසිදු ත්‍රස්තවාදයකට හිස ඔසවන්න ඉඩ තියන්නේ නැහැ. අපේ රජය 2009 දී රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරාට පස්සේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල පිබිදීමක් ඇති වුණා.

පසුගිය පාස්කූ ප්‍රහාරයෙන් පස්සේ රටේ සංචාරක ව්‍යාපාරය නැවත කඩා වැටුණා. ඉන්දියාව සිට චීනය දක්වා තිබෙන රටවල් වල සංචාරකයින් විශාල වශයෙන් අපේ රටට ගෙන්වා ගත හැකියි. ඒ සදහා ආගමන විගමන නීති රීති ලිහිල් කරන්න ඕනෑ. මගේ රජය යටතේ ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය යටතේ සියළු ව්‍යාපාර කඩා වැටුණා. නිශ්පාදනය වැඩි කරන්න, ව්‍යාපාරිකයින් ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. බදු ගෙවන්න සරල පහසු බදු ක්‍රමයක් හදුන්වා දෙනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරන්න කටයුතු කරනවා. අපි අභියෝග බාර ගන්න ලෑස්තියි. අපි බාර ගත්ත අභියෝග ජයගෙන පෙන්වා තිබෙනවා.




වැසි සහිත කාලගුණයක් තිබියදීත් අපේ ජයග්‍රහණයට ශක්තියක් වූ ඔබට ප්‍රථමයෙන්ම ස්තුති කරනවා. වසර 4 ½ ක් තිස්සේ රටේ විද්වතුන්, වෘත්තිකයින් සමග සාකච්ඡා කරලයි, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදල තිබෙන්නේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවලුයි. මගේ ධූර කාලය තුලදි මේ සැලසුම් සියල්ලම මම ක්‍රියාත්මක කරනවා. අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළා. විවිධ ජනාධිපතිවරුන් යටතේ වසර 30 ක් ඇදී ගිය ත්‍රස්තවාදය අපි අවසන් කළා.

විවිධ ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න මේ රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා. වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබදව තැකීමක් නොකල නිසා නැවත රටේ බෝම්භ පිපිරෙන්න පටන් ගත්තා. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. මම, මට දුන්න වගකීම් අකුරටම ඉෂ්ඨ කර පුද්ගලයෙක්. මගේ රටේ ආදරණීය ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මා කෙරෙහි විශ්වාසය තබා ඔබ, ඔබේ යුතුකම ඉටු කරන්න. මම, මගේ වගකීම ඉටු කරන බව දැඩි විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා.

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා.

පාස්කූ ප්‍රහාරයෙන් වැඩියෙන්ම වැදුණේ අපේ පොකැට් එකට. හෝටල් කාමර වැහිල ගියා. ආර්ථිකය කඩා වැටුණා. මේ පැත්තේ කුරුදු මිළට පවා වුණ දේ අපි දන්නවා. පිට් පොකැට් කාරයා දුවන්නේ ඔන්න හොරෙක්, ඔන්න හොරෙක් කියල කෑ ගසමින්. රනිල් වික්‍රමසිංහත් අපිට හොරා හොරා කිය කියා මහ බැංකුව ඉවර වෙන්නම හොරා කෑවා. රනිල් වික්‍රමසිංහ අද රගපාමින් ඉන්නේ පිට් පොකට් කාරගේ චරිතය.

අද ඔබ දින ගැන ගැන බලා සිටින්නේ 16 වැනිදා එනතෙක්. අපේ රටේ සියළු දේ රදා පවතින්නේ ජාතික ආරක්ෂාව මත කියන එක මේ වන විට ඔප්පු වෙලා තිබෙනවා. වසර 30 ක යුද්ධය ඉවර කරලා වසර 10 ක් ගතවන විට අපේ රට නැවත බෝම්භ පිපිරෙන රටක් බවට පත් වුණා. අප්‍රේල් 21 පාස්කූ ප්‍රහාරය පිළිබද සියළු තොරතුරු ආණ්ඩුවට ලැබිල තිබෙද්දීත් ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගන්න බැරි වුණා. මුස්ලිම් ඡන්ද නොලැබේවී කියල බයට වෙන දෙයක් බලාගෙන ආණ්ඩුව හිටියා. උතුරට අපි ගියා. නැගෙනහිරට අපි ගියා. අද ඒ පැත්තේ ජනතාවත් මේ ආණ්ඩුව ගැන කල කිරිල.




දෙමල සන්ධානය, ව්‍යවස්ථාවක් ගැන කතාකරමින් දෙමල ජනතාවගේ ප්‍රශ්ණ අමතක කලා කියලයි, උතුරු නැගෙනහිර ජනතාව කියන්නේ. උතුරේ හිටපු මහ ඇමතිවරයා සිංහල අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්න එපා කියල ඉල්ලා තිබෙනවා. අද රටේ තිබෙන්නේ අපි හදපු පාලම්, පාරවල්, බෝක්කු, ගොඩනැගිලි විතරයි. මේ ආණ්ඩුව කළේ ඒවා විවෘත කරන එකයි. අපි ආරම්භ කරපු වරාය නගරයේ මුල්ගල ගලවල මූදට දාන්න ගෙනියන විට චීන ජාතිකයෝ ඉල්ලාගෙන තිබෙනවා. අනුන්ගේ වැඩ වලට නම දාගන්න මේ අය බොහොම දක්ෂයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ කතාව ඔබල අහන්න ඇති. ඒ කතාවේ අවලාද, මඩ තිබුනද? තමන් කරන දේ පමණක් ඔහු කිව්වා. ඔහු ඔහුගේ ප්‍රතිපත්තිය රටට කිව්වා. අපේ විපක්ෂ අපේක්ෂකයා කතා කරන්නේ දෙන දේවල් ගැන පමණයි. දීපාවලී වෙනුවෙන් දමිළ ජනතාවට උත්සව අත්තිකාරම පවා ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා.

ඒ වුණාට 1500/- ක් දෙන්න කතා කරනවා. අපි පොලීසියට හමුදාවට මෙන්ම අනෙකුත් රජයේ සේවකයින්ට දෙන දේවල් ගැන පැහැදිලිව කියල තිබෙනවා. මේ වන විට තැපැල් ඡන්දය 80% ක් පොහොට්ටුවට ලැබිල තිබෙන්නේත් ඒකයි. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අකුරටම ක්‍රියාත්මක කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද යාපා අබේවර්ධන, නිශාන්ත මුතුහෙට්ටිගම, මොහාන් පී ද සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසෝක වීරසිංහ ද සිල්වා, ගීතා කුමාරසිංහ, පොදුජන පෙරමුණේ බළපිටිය සංවිධායක චන්න සාලිය මෙන්ඩිස්, බළපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති සමන් ද සිල්වා, බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සංජය මුතුමුණි, ඒ දයාරත්න ද සිල්වා යන මහත්වරුන්ද මෙහිදී කතා කළහ.

පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු බළපිටිය මැතිවරණ කොට්ඨාශයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Scroll to Top