ඔස්ට්‍රේලියානු භූමියේදි තරගමාලාවක් පරාජයට පත්වී නොමැති ශ්‍රී ලංකා කණ්ඩායමට අද (30) සවස 1.40ට බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි තරගය දෙපිළටම තීරණාත්මක තරඟයක් වෙයි.
ශ්‍රී ලංකාව සමග මෙන්ම පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි20 තරගමාලා තුළ පූර්ණ ජයග්‍රහණ අත්කර ගනිමින් ලෝක විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීම සිය එකම බලාපොරොත්තුව බව ඔස්ට්‍රේලියානු පිලේ නායක ආරොන් ෆින්ච් ප්‍රකාශ කරයි. ඔස්ට්‍රේලියානු පිල මේ වනවිට විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි තැන පසුවන අතර පෙරමුණේ සිටින්නේ පාකිස්තාන කණ්ඩායමය.
2010-2011 තරගවාරයේද ඔස්ට්‍රේලියානු භුමියේ පැවැති එකම විස්සයි20 තරගය ජයගත් ශ්‍රී ලංකා පිල අනතුරුව 2012-2013 තරගවාරයේ දී ඔස්ට්‍රේලියාවේ පැවැති තරගාවලිය 2-0කින් ජයගත්තේය. අවසන් වරට 2016-2017 තරගවාරයේ ඔස්ට්‍රේලියානු භූමියේදි තරග 2-1කින් විස්සයි20 තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. 2019 තරගවාරයේ ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය ලැබේවායි අපි පාර්ථනා කරමු.