මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් එම සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්ඩිනෑන්ඩු පියතුමා වෙත ජනාධිපතිතුමා විසින් සන්නස් පත්‍රය පිළිගන්වනු ලැබිය.
කිතුනු බැතිමතුන්ගේ ගෞරවනීය පුදබිමක් වන මඩු දේවස්ථානය, බෞද්ධ සහ හින්දු බැතිමතුන්ගේ ද වන්දනාමානයට පාත්‍ර වන සුවිශේෂි ආගමික ස්ථානයකි. වාර්ෂික මඩු මංගල්‍යය අවස්ථාවේදී මෙන්ම වසර පුරාම වන්දනාකරුවෝ ද දෙස් විදෙස් සංචාරකයන් ද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මඩු දෙවස්ථානය වෙත පැමිණෙති.
පසුගිය යුද සමයේ සිදු වූ දැඩි අලාභහානී හේතුවෙන් ද, දිගු කලක් තිස්සේ නඩත්තු හෝ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුනොවීම හේතුවෙන් ද මඩු දේවස්ථානය අවට ප්‍රදේශය අඩු පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්ව තිබිණි.
2018 වසරේ ජූලි මසදී එහි සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ අවධානයක් මේ කෙරෙහි යොමු වූ අතර ඓතිහාසික පූජා භූමියක් වන මඩු පූජා භූමිය ආරක්ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන්නා වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවයක් සේ සලකා කටයුතු කිරීමට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.
ඒ අනුව එම ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රවාහන හා මාර්ග පහසුකම්, ජලාපවහන පද්ධති හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත්, එම පූජා භූමිය වෙත පිටතින් පැමිණෙන ජනතාව වෙනුවෙන් නවාතැන්, විශ්‍රාම ශාලා ආදි විශේෂ පහසුකම් සැපයීමත් ඇතුථ විශේෂ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවේ.
ඓතිහාසික මඩු දේවස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය මගින් එම ප්‍රදේශයේ අක්කර 300ක ප්‍රමාණයක් දේවස්ථානයේ ආගමික කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුථ සංවර්ධන කටයුතු සඳහා ලබාදී තිබෙන අතර, ඊට අමතරව අක්කර 5000ක ප්‍රමාණයක් වන සංරක්ෂණය සමඟ ආරක්ෂා කිරීමට අදාළ ගැසට් නිවේදනය මඟින් පවරා දී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සමස්ථ ජනතාවගේ ගෞරවණීය පුදබිමක් වු ඓතිහාසික මඩු දෙවස්ථානය පූජා භූමියක් ලෙස නම් කරමින් එය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ලැබීම තම ධූර කාලය තුළ ඉටුකිරීමට හැකිවූ තවත් සුවිශේෂි කාර්යයක් සේ සලකා සතුටට පත්වන බවයි.
ෆිදෙලිස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමා ඇතුථ පියතුමන්ලා සහ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.