ලොවට වඩාත්ම අවශ්‍යකර සිටින ත්‍රස්තවාදී නායකයා හෙවත් world’s most wanted man අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරයි.
අයි.එස්. නායකයා අල්ලා ගැනීම සඳහා කරන ලද මෙහෙයුමට රුසියාව, සිරියාව, තුර්කිය සහ ඉරාකය සහාය දුන් බවත් ඔවුන්ට ස්තූති කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.
අමෙරිකානු ජනාධිපතිවරයා ජාතිය අමතමින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිරියාවට එල්ල කෙරුණු ප්‍රහාරයකින් IS නායක අබු බකර් අල් බග්ඩාඩි, ඊයේ රාත්‍රියේ අමෙරිකානු විශේෂ මෙහෙයුමක් අතරතුර මියගිය බවට විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කලත් ඇතැම් වාර්තාවල දැක්වුණේ මෙහෙයුම අතරතුරදී බග්ඩාඩි, මරාගෙන මැරෙන ජැකට්ටුවක් පුපුරවාගනිමින් දිවිනසාගත් බවයි.
IS නායක අබු බකර් බග්ඩාඩි මියගිය බවට අවස්ථා කිහිපයකදී වාර්තා පළ වුවත් එම වාර්තා අසත්‍ය බවට පත් කරමින් වසර කිහිපයකට පසු අබු බකර් අල් බග්ඩාඩි යළි කරළියට පැමිණියේද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බවත් සදහන් කරයි.