පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ජනතා සේවය සැලැසීම සඳහා ම ඇප කැප වූ මෙරටට සිටින අතළොස්සක් තරම් වූ දේශපාලනඥයන් අතර මුල් තැන ගන්නා කෙනෙකු ලෙස දිවංගත ඇමැති ද. මු. දසනායක මහතා නම් කළ හැකිය.
දේශපාලන පක්ෂ, පාට, බේද කිසිවක් නොසලකා ජනතා අවශ්‍යතාවය පමණක් සැලැකිල්ලට ගනිමින් තමන්ගෙන් ඉටුවිය යුතු සේවාව ඉටුකිරීම ද. මු. දසනායක නම් දේශපාලනඥයාගේ චරිතයේ දක්නට ලැබෙන සුවිශේෂීම ගුණාංගය විය.
තමන් අදහන දේශපාලන දර්ශනය, දැක්ම දිනවීමට අසමසමව කැපවීම, තම දේශපාලන දහරාවේ නායකයින්ගේ මතයට, චින්තනයට ජීවිතය පරදුවට තබා ගෞරව දැක්වීම, වැඩිහිටි පරිණත දේශපාලන නායකත්වයට ඇහුම්කන් දීම හා උපදෙස් ලබා ගැනීම වැනි ගුණාංග ගොන්නක් ඔහු සතුව පැවැතුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණවලට වඩා ප්‍රතිවිරුද්ධ දිසාවන්ට ගමන් කරන කාලවකවානුවේ, ඒ ගමන නතර කරලීමට ඇප කැප වූ අතළොස්සක් තරම් වූ දේශපාලන ක්රියාධරීන් අතර ප්‍රධානියෙකු වූ දසනායක මහතා, ඒ නිසාම බලයට පැමිණි වහාම ඉහළ තනතුරු ප්‍රාර්ථනා නොකළේය.
මැති ඇමැතිකම් ලබා ගැනීමේදී නායකත්වයෙන් සිදු වූ නොසලකා හැරීම් පවා ආශීර්වාදයක් සේ සැලැකීමට තරම් වූ ඔහු පරිණත දේශපාලනඥයෙකු විය.
මේ ඒ පරිණත දේශපාලනඥයෙකුගේ අවසන් මිනිත්තු කිහිපයේ කතාවයි,
ද.මු. දසනායක මහතා ආණමඩුවේ පිහිටි නිවසේ සිට පැමිණෙන්නට සූදානම් ව සිටියේ ය. දසනායක මහතා මඳක් නොසන්සුන්ව සිටියේ රියැදුරු ඉසුරුගේ ප්‍රමාදය නිසා ය.
ඒ කේන්තිය වචනවලින් ද පිට කළ ඇමැතිවරයා රියැදුරුගේ පැමිණිමෙන් පසු පෙ.ව. 8.00 ට පමණ කොළඹ බලා එන්නට සූදානම් විය. මේ මොහොතේ කාර්යාලය තුළ සිටි දසනායක මහතාගේ කාර්යාලයීය පෞද්ගලික ලේකම් වූ නන්දපාල මහතාට කතා කළේ ය.
“මචං උඹත් එක්ක මට කතා කරන්න ඕනෑ මං කෝල් කරන්නං”
නන්දපාල මහතාට එසේ කී දසනායක මහතා සුදු පැහැති ලෑන්ඩ් කෲසර් වර්ගයේ රියට නැගුණේය. අමාත්‍යවරයාගේ ආරක්ෂාවට එහි සිටියේ පොලිස් සැරයන් රත්නායකයි. ඇමැතිවරයාගේ ඥාති සහෝදරයකු වූ මුදියන්සේ ද එම රථයට නැගුණේ ය.
ඔහුගේ ගමන් සඳහා මුදියන්සේ සාමාන්‍යයෙන් සහභාගි නොවුණත් බත්තරමුල්ලේ ඉදිවන නිවසක් ළඟ මුදියන්සේ නවතාලීමට ඒ මොහොතේ කැඳවා ගියේ ය.
“බංගදෙණියෙන් අයිස් ගන්න ඕනෑ.”
වාහනයට නගින්නට පෙර සැරයන් බන්දු කුමාර ඇතුළු ආරක්ෂක නිලධාරින් තිදෙනාට ඇමැතිවරයා මතක් කළේ ය. ඔවුන් තිදෙනා රැගත් රථය ඉදිරියෙන් ද ඒ පසුපසින් ඇමැතිවරයා රැගත් රථය ද ගමන් ඇරඹුවේ ය.
ගමන් අරඹන විටම පුරුදු පරිදි වාදනය වන්නට දැමූ පිරිත් අඩංගු සී. ඩී. තැටිය දිගටම වාදනය වෙමින් පැවතිණි. ඇමැතිවරයා දුරකථනයෙන් කීප දෙනකු සමග කතා කළේ ය. 8.20 ට පමණ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ දුරකථනයට ද ඇමතුමක් ගත්තේ ය.
“මචෝ… උඹ කාලෙකින් මේ පැත්තෙ ආවෙ නෑ…”
ඇමැතිවරයා ඔහු හා පෞද්ගලික තොරතුරු මඳ වේලාවක් කතා කළේ ය.
“මචෝ මම උඹට කතා කළේ හේමකුමාරගේ (හේමකුමාර විජේසිංහ) ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලා ගන්න. මොබයිල් එක වැඩ කරන්නේ නෑ…”
හේමසිරි ප්‍රනාන්දු මහතා ඔහුට එම දුරකථන අංකය ලබා දුන්නේ ය. නොනවත්වාම පැමිණි රථ දෙක බංගදෙණිය අයිස් ෆැක්ටරිය ළඟ නැවතිණි. දසනායක මහතා පාරේ වූ වාහනයේ සිටිය දී ආරක්ෂක නිලධාරින් ගොස් ඔහු කී ලෙසට “මාළු” සඳහා දමන අයිස් ලබා ගත්තේ ය.
ඉතා සුළු වේලාවක් පමා වූ පිරිස ගමන් ඇරඹූහ. මාරවිල පොල් මණ්ඩලය ළඟට පැමිණි ඇමැතිවරයාගේ වාහනය එහි නැවතිණි. ද. මු. දසනායක මහතා වාහනයෙන් බැස පොල් මණ්ඩලය තුළට ගියේ ය.
“මචෝ… මම මේ අවුරුද්දේ පළමුවැනි වතාවට අද පාර්ලිමේන්තු යනවා. කෝ ලොකු මහත්තයා නෑ නේද…?”
ප්‍රධාන ලිපිකරු බාලසූරිය මහතා ඉදිරියේ නැවතෙමින් ඔහු කීවේය. වහා අසුනින් නැගී සිටි බාලසූරිය මහතා ඔහු ඇසූ ප්‍රශ්නයට නැත යන උත්තරය දුන්නේ ය.
“මගේ පොල් වගාවේ පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. මට ඒකට මොනවද තියෙන උපදෙස්” ඔහු පුටුවක ඉඳ ගනිමින් කීවේ ය. ඒ
සමග අසුන් ගත් බාලසූරිය මහතා ඇමැතිවරයාගේ පොල් වගාවේ තිබූ ප්‍රශ්න ගැන කතා කළේ ය. ඒ අනුව දසනායක මහතාගේ පොල් වගාවට වැලඳී ඇත්තේ “පැසිස්ටා” රෝගය බව බාලසූරිය මහතා තේරුම් ගත්තේ ය.
“ඇමැතිතුමා… ඒ පැසිස්ටා රෝග ලක්ෂණ තියෙන්නේ…”
ඒ මොහොතේ ඇමැතිවරයා බාලසූරිය මහතාගෙන් ඒ සඳහා යොදන රසායනික ද්‍රව්‍යයන් හි විස්තර හා මිල ගණන් අසා දැන ගත්තේ ය. අලුත් අවුරුද්දේ ස්ථාන මාරුවක් ගැන හිතමින් සිටි බාලසූරිය මහතා මේ මොහොතේ එය ද ඇමැතිවරයාට මතක් කරන්නට සිතුවේ ය.
“ඇමැතිතුමා… අපි හැමදාමත් මෙහාට වෙලා ඉන්නවා. අපේ ගම් රටවලට යන්න මට මාරුවක් හදලා දෙන්න…”
“හරි මචෝ… මම අදම කරන්නම්. සාලින්දටයි, පොල් මණ්ඩලේ සභාපතිටයි මං කතා කරන්නම්. ඒක නෙවේ මචෝ… මගේ පොල් ගස්වල රතු කුරුමිණියො ඉන්නවා. මට මොනකේරාතපොන් ටිකකුත් ඕනෑ.”
ඒ මොහොතේ එතැනට පැමිණි කාර්ය මණ්ඩලයේ කීප දෙනකු සමගම ඇමැතිවරයා කතා කළේ ය.
එහි සිටි පයස්ට ඉරිදාට ඔහු හමුවන ලෙස කියා ඉඳ සිටි තැනින් නැගිට්ටේ ය. අනතුරුව සියල්ලන් දෙස බලා සිනාසී පුරුදු ලෙස අත ඉහළට එසවීය.
“උඹලා ඔක්කෝටම දෙයියන්ගෙ පිහිටයි… මම යනවා…”
විනාඩි 10 ක් පමණ පොල් මණ්ඩලයේ ගත කළ අමාත්‍යවරයා යළිත් වාහනයේ නැගී කොළඹ එන්නට පිටත් විය. ආණමඩුවේ කාර්යාලයේ සිටි නන්දපාල මහතාගේ දුරකථනයට ඇමැතිවරයා කතා කළේ පිටත්ව පැයක් පමණ කාලය ගෙවී ගිය පසුය.
“මචං අපි කවුරුත් මැරෙනවා. උඹත් මැරෙනවා, මාත් මැරෙනවා. මගේ අම්මා වයසයි මචං. උඹයි මමයි එකතුවෙලා අම්මගෙ ගේ හැදුවනේ. දැන් අම්මට වයස නිසා ළිඳෙන් වතුර ගන්න බෑ. අඩි 20 ක් විතර උසට යකඩ බට දාලා ගැලුම් 1000 ක ටැංකියක් දාලා අම්මට වතුර ගන්න හදලා දෙන්න ඕනෑ. මචං දැන්ම අර ලියවන පට්ටල් වැඩපළේ නිමල් ගෙන්නලා මට කතා කරපං…”
නන්දපාල මහතා වාහනයක් යවා ඉක්මනින් නිමල් ගෙන්නුවේය. නැවතත් ඇමැතිවරයාට කතා කොට නිමල් සම්බන්ධ කළේ ය. ඇමැතිවරයාගේ අම්මාට පෙරියමලේ ගමේ ඉදිකර දුන් නිවසේ වූ ළිඳට බට දමා වතුර ටැංකිය සැකසීමට යන වියහියදම් ගැන නිමල් සමග කතා කරන බව නන්දපාල මහතාට තේරිණි. නැවත් දුරකථනය නන්දපාල් මහතා අතට ලැබුණේ ය.
“මචං අඩි 20 බට ගන්න රු. 15,000 ක් යනවලු. මගේ රත්තරං මල්ලි දැන් රුපියල් 15,000 ක් හොයලා නිමල්ට දීපන් මං හවස ආවම දෙන්නම්.”
ඇමැතිවරයා කීවේය. අනතුරුව ඔහු පෞද්ගලික තොරතුරු කතා කරමින් විහිළු කරමින් පැමිණියේය.
ඒ වන විට ආරක්ෂක රථය සහ ඇමැතිවරයාගේ රථය තුඩැල්ල හන්දිය පසුකරමින් තිබිණි. පාරේ වෙනදා පවතින වාහන තදබදය තිබුණේ නැත. තුඩැල්ල හන්දිය පසු වී මීටර් 10 ක් පමණ ඉදිරියට ගියේ ය.
නන්දපාල මහතා සමග ඒ වන විටත් විහිළු කරමින් කතා කරමින් පැමිණි ඇමැතිවරයා ඔහුගේ ජීවිතය කිසිවකුත් “උදුරා” ගනිතැයි සිතන්නට නැත. එහෙත් ඔහුගේ ඒ සිනාව හා කතාව එතැනින්ම නවතා දමන්නට මාර්ගයට සමීප ගසක් පාමුල “ක්ලේමෝ බෝම්බයක්” සූදානම් වෙමින් තිබිණි. නන්දපාල මහතාට පෞද්ගලික විහිළුවක් කර ඇමැතිවරයා සිනාසුණේය.
එක්වරම විශාල පිපිරුම් හඬකින් මුළු පළාතම දෙදරා ගියේ ය. දුරකථනයෙන් කතා කරමින් සිටි නන්දපාල මහතාගේ කනට ද එය හෙණ ගසන්නා සේ ඇසිණි. ඒ සමග විසන්ධි වී ගිය දුරකථන ඇමතුම හා නැවත සම්බන්ධ කර ගන්නට ඔහු උත්සාහ කළේ ය. එහෙත් දුරකථනය සම්බන්ධ කර ගත නොහැකි විය.
ඉදිරියෙන් ගිය ආරක්ෂක රථයේ පිරිස දුටුවේ ශබ්දයත් සමග ඇමැතිවරයාගේ වාහනය එක්වරම පාර මැද නතර වුණ අන්දමයි. වහා එහි පැමිණි ආරක්ෂක නිලධාරින් දුටුවේ වීදුරු කැඩී බිඳී බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට පත්ව තිබූ රථයේ හිසෙහි තුවාල සහිතව ඇමැතිවරයා වැටී සිටි අයුරුයි.
ඒ වන විට ශබ්දය ඇසී නගරය අවට ජනතාව ද එම ස්ථානයට දිව ආහ. ඔවුන්ගේ ද උදව්වෙන් වාහනයේ වීදුරු කඩා තුවාල ලැබූ ඇමැතිවරයා සහ වාහනයේ සිටි අනෙකුත් තුවාලකරුවන් ද රැගෙන ආරක්ෂක නිලධාරින්ගේ කැබ් රියේම රාගම රෝහල වෙත ඔවුන් ගෙන ගියහ.
ඉතාමත් ඉක්මනින් අමාත්‍යවරයා ඇතුළු පිරිස රෝහලට ඇතුළත් කළ ද ඇමැතිවරයාගේ මෙන්ම සැරයන් රත්නායකගේත් “ඉරණම” බෝම්බයට පරාජය වී තිබිණි.
රෝහලට ඇතුළත් කළ පසු දරුණු ලෙස තුවාල ලබා සිටි ද. මු. දසනායක ඇමැතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන් රත්නායක මියගොස් තිබුණේය. රියැදුරු ඉසුරු හා ඥාති සොයුරු මුදියන්සේ ඇතුළු 14 දෙනෙකු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
පනස් පස් වැනි වියේදී කොටි ත්රස්තවාදීන් ජීවිතය උදුරා ගන්නා විට ද. මු. දසනායක මහතා ජාතිය ගොඩ නැගීමේ අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියේ ය.
ආණමඩුව දිස්ත්‍රික්කයේ පෙරියමලේ ගම්මානයෙහි උපත ලද දසනායක මහතා දූ දරුවන් හය දෙනකු අතරේ වැඩිමලා ය.
ආඩිගම විද්‍යාලයෙන්ද, හලාවත ආනන්ද විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබූ දසනායක මහතා දේශපාලනයට එක්වන්නේ 70 දශකයේ ය.
විවිධ තාඩන පීඩන දුක් කරදර මධ්‍යයේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඔහු අවසානයේ හිත කලකිරවාගෙන ලංකාව හැර දමා මැද පෙරදිග රටකට ගොස් වසර ගණනාවක් එහි රැකියාව කරමින් සිටිය දී 1994 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ඔහු ලංකාවට ගෙන්වා ආණමඩුව නිදහස් පක්ෂ සංවිධායක කම දෙනු ලැබිය.
අනතුරුව 1994 මැතිවරණයට තරග කොට ජය ලබා පාර්ලිමේන්තුවට එක්විය.
දශක කීපයකට ආසන්න දේශපාලන දිවියේ දී ඔහු බොහෝ “මිනිසුන්” හම්බ කරගෙන සිටි බව ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණි ජන ගංගාවම සාක්ෂි දැරුවේ ය.