ලොව වයස්ගතම කාන්තාව හැටියට ගිනස් පොතට එක්ව සිටි ජපන් ජාතික යෝනේ මිනගාවා මියගියේ අවුරුදු 114 ක් ආයු වළඳමින් ය. 1893 වසරේ උපන් මිනගාවා සිය දීර්ඝායුෂ ලැබිමේ රහස හැටියට කියා තිබුණේ හොඳින් ආහාර ගැනීමත්, හොඳින් විවේක ගැනීමත් බව ය. ඇගේ දහවල් ආහාර වේලට හැමදාමත්, පාන්, මාළු, එළවළු සලාද සහ අතුරු පසක් එක්ව තිබූ බවත් ඇය හොඳ රාත්‍රි නින්දක් ලබාගත් බවත් ජීවිතයේ අවසන් භාගයේ දී ඇය රැක බලාගත් උදවිය කියා තිබුණහ. ඒ හැරෙන්නට වෙනත් මැජික් බලයක් ඇයට තිබුණේ නැත.
බ්‍රිතාන්‍යයේ කෙරුණු නවතම විද්‍යා පර්යේෂණයකින් ද පෙනී යන්නේ දිගු කල් ජීවත් වෙන්නට අමුතු මැජික් බලයක් වුවමනා නැති බවය. ඊට වුවමනා වෙන්නේ ඉතා සරල, පහසු පිළිවෙත් හතරක් පමණය. මේ පිළිවෙත් හතර අකුරට පිළිපැදීමෙන්, දැනට මිනිසකුට තිබෙන අපේක්ෂිත ආයු කාලය අවුරුදු 14 කින් ඉහළ දැමිය හැකි බව ඒ පර්යේෂණයෙන් පෙන්වා දී තිබේ.
මෙලොව උපන් කාටත් පිළිපැදිය හැකි ඒ පිළිවෙත් හතර මෙසේ ය. පලතුරු සහ එළවළු හොඳින් ආහාරයට ගැනීම, දුම් පානය නොකිරීම, මත්පැන් පමණ ඉක්මවා පානය නොකිරීම (එයින් සම්පූර්ණයෙන්ම වැළකෙනවා නම් ප්‍රතිඵලය ඉතා සාර්ථකය) සහ ප්‍රමාණවත් ව්‍යායාම ලබා ගැනීම, ඒ පිළිවෙත් හතර ය.
මේ සොයා ගැනීම කෙරුණේ නිකම්ම නොවේ. අවුරුදු 10 ක් පුරා පුද්ගලයන් 20,000 ක් පමණ සහභාගි කරවා ගත් මහා පරිමාණයේ සමීක්ෂණයකිනි. මේ සඳහා බ්‍රිතාන්‍යයේ අවුරුදු 45 සිට 79 දක්වා වයස් කාණ්ඩවල පුද්ගලයන් සහභාගි කරවාගෙන තිබිණ. සෑම සමාජ මට්ටමකටම, තරාතිරමකටම අයත් පුද්ගලයෝ මීට ඇතුළත් වූහ. තෝරා ගත් කාණ්ඩයේ කිසිවකුට මේ කාලය ඇතුළත පිළිකා හෝ හදවත් රෝග වැළඳී තිබුණේ නැත.
මේ පුද්ගලයන් පිරිස සහභාගි කරවාගෙන මේ පර්යේෂණය කෙරුණේ අවුරුදු 13 ක් තිස්සේම, ඔවුන්ගේ ජීවන රටාවට ලකුණු ලබා දීමේ ක්‍රමයක් මගිනි. දුම්පානය අත් හැරීම, මත්පැන් අවම වශයෙන් පානය කිරීම, දිනකට සෑම ආහාර වේලකටම පලතුරු හා එළවළු වැඩිපුර එකතු කර ගැනීම.
එක් එක් පුද්ගලයාට ලකුණු ලබා දෙනු ලැබිණ. ක්‍රියාශීලී වීම මනින ලද්දේ එක්කෝ ශ්‍රමය වැය කරන රැකියාවක නිරත වීම හෝ දවසකට පැය භාගයක්වත් ව්‍යායාම කිරීම වැනි කාරණා මතය. මේ පිළිවෙත් හතරම පිළිපදින පුද්ගලයන්ගේ නිරෝගී බව වැඩි වී, ආයු කාලය වැඩිවන බව අන්තිමේදී පර්යේෂකයන්ට පෙනී ගියේ ය. එපමණක් ද නොවේ.
මේ පිළිවෙත් 4 ම පුරන 74 හැවිරිදි පුද්ගලයකුත් ඒවා පිළිනොපදින 60 හැවිරිදි පුද්ගලයකුත් රෝගාතුර වී මරණයට පත්වීමේ ඉඩකඩ එකම බවත් එහිදී පෙනී ගියේ ය. වඩා සරලව කියනවා නම් මේ පිළිවෙත් හතර හරිහැටි පුරන්නේ නම් අවුරුදු 70 ක් වයසැති වුව ද අවුරුදු 14 කින් තිරිහන් විය හැකි ය.
මීට කලින් දුම්පානය නොකිරීම සහ නිසි පරිදි ශාරීරික ව්‍යායාමවල යෙදීම ආයු කාලය වැඩිවීමට බලපාන කරුණු කාරණා හැටියට හඳුනාගෙන තිබුණත්, ඒ සියල්ලම එකට එක් කොට සලකා බැලුණේ මේ පර්යේෂණයේ දී ය. ඒ සමගම ආයු කාලය වැඩිවීම සඳහා සමාජ මට්ටමවත්, දේහ බර අනුපාතය වත් බල නොපාන බව මෙහිදී සොයා ගනු ලැබිණයි මේ පර්යේෂණය සිදු කළ කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය කේයි-ටී-කෞ කියා සිටින්නේය.
එවැනි බරපතල කාරණා වෙනුවට ජීවන රටාවේ සිදු කර ගත හැකි ඉතා සුළු වෙනස්කම් මගින් අපේක්ෂිත ආයු කාලය වැඩිකර ගැනීමට හැකියාව ලැබිම කාගේත් සිත් ඇදගන්නාසුලු සොයා ගැනීමක් බවට පත්ව තිබේ.
මේ වන විට ලොව පුද්ගලයකුගේ සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය අවුරුදු 67.2 කි. එහෙත් රටින් රටට ගත් විට මේ අපේක්ෂිත ආයු කාලය අඩු වැඩි වීම් දකින්නට ලැබේ. ලොව වැඩිම අපේක්ෂිත ආයු කාලය ඇත්තේ ජපානයේ ය. යෝනේ මිනගාවා වැනි අවුරුදු 100 ඉක්මවූ කාන්තාවන් වැඩි හරියක්ම වෙසෙන්නේ ද ජපානයේ ය. ජපන් වැසියන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාව ද, එරට ඇති ඉහළ සෞඛ්‍ය පහසුකම් ද ජපන් වැසියන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩිවීම කෙරෙහි බලපා ඇත.
අප්‍රිකානු රටවල් ගත්තොත් දකින්නට ලැබෙන්නේ එහි අනෙක් පැත්තය. බොහෝ අප්‍රිකානු රටවල පුද්ගලයකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 50 කටත් අඩුය. එම රටවල ඇති දිළිඳුකම, මන්දපෝෂණය, ඒඩ්ස් වැනි රෝග පැතිර යාම, සෞඛ්‍ය පහසුකම් අඩුවීම, අප්‍රිකානුවන්ගේ එවැනි අඩු ආයුෂ ලැබිමට හේතු වී තිබේ. ශ්‍රී ලංකාව ඒ අතින් වාසනාවන්තය. ලාංකිකයකුගේ අපේක්ෂිත ආයු කාලය 72.4 ක් වේ. අනෙකුත් දකුණු ආසියානු රටවලට වඩා එය ඉහළ අගයකි.
ලෝකයේ දැනට දකින්නට ලැබෙන ආයු අපේක්ෂාව එසේ වෙද්දී දීර්ඝායුෂ ලැබිය හැකි ක්‍රම පිළිබඳව බොහෝ පර්යේෂණ ද ලොව පුරා සිදුවෙමින් පවතී.
බිබිසී පුවත් සේවයේ පළ වූ එම පර්යේෂණයෙන් හෙළි වූයේ විධායක ශ්‍රේණියේ රැකියාවල යෙදෙන්නන්ගේ ආයු කාලය එසේ නොවන පුද්ගලයන්ට වඩා වැඩි බවය. උදාහරණයක් හැටියට නීතිඥයකුගේ ආයු කාලය ඔහුගේ කාර්යාලයේ වැඩකරන කම්කරුවකුගේ ආයු කාලයට වඩා වසර 7 කින් වත් වැඩිවන බවය.
වෛද්‍යවරුන්, ගණකාධිකාරිවරුන්, ගුරුවරුන්, ජනමාධ්‍යවේදීන්, කළමනාකරුවන් වැනි යම් කුසලතාවක් පෙරටු කොටගත් විධායක වෘත්තීන්වල නියැළෙන පුද්ගලයන්, කම්කරුවන්, රියැදුරන්, වේටර්වරුන් වැනි ශ්‍රමය වැය කරන රැකියාවල යෙදෙන්නන්ට වඩා දීර්ඝායුෂ ලබන බව එහිදී පෙනී ගොස් තිබුණි.
මෙයට හේතුව හැටියට ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැනී ඩෝර්ලින්ග් සඳහන් කරන්නේ අනෙකුත් අයගේ අණසකට යට වී ශ්‍රමය වැය කිරීමෙන් පමණක් තම රැකියාව කරගෙන යන ශ්‍රමිකයන් ජීවිත කාලය පුරා දැඩි මානසික පීඩනයකින් පසුවීම බවයි. ඔවුන්ට සාපේක්ෂව විධායක ශ්‍රේණියේ රැකියා කරන පුද්ගලයන්ට තම වෘත්තීන් හි වැඩි බලතල සහිතව නිදහසේ රාජකාරි කිරීමට ඉඩ සැලසෙන බැවින් ඔවුන්ගේ මානසික පීඩනය අඩුය.
මානසික පීඩනය අඩුවීම යන නිරෝගී බව අතර සබැඳියාවක් පවතින බැවින් ඉහත කී ආකාරයේ විධායක ශ්‍රේණිවල රැකියාවල යෙදෙන්නන්. දීර්ඝායුෂ ලැබිමට හිමිකම් කියන බව මේ අධ්‍යයනයේ දී පෙනී ගොස් තිබේ.
ඉතා අඩු ආදායම්ලාභී රැකියාවල යෙදෙන පුද්ගලයන් වැඩි ආදායමක් ලබන රැකියාවල යෙදෙන්නන්ට වඩා ඉක්මනින් කායිකව වියපත් වන බවයි. අවුරුදු 35 සිට 55 දක්වා වයස් කාණ්ඩවල සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවකයන් 10,000 ක් යොදාගෙන අවුරුදු 20 ක් තිස්සේ කරන ලද මේ අධ්‍යයනයේ දී වඩාත්ම අවධානය යොමු කරන ලද්දේ එම පුද්ගලයන්ගේ විශ්‍රාමික අවධිය ගැනය.
ඉහළ ආදායම්ලාභී රැකියාවල නියුතු වී විශ්‍රාම ලබන්නන්ගේ මානසික සෞඛ්‍ය මෙන්ම, නිරෝගී බවද, අඩු ආදායම්ලාභී විශ්‍රාමිකයන්ට වඩා වැඩි බව එම පර්යේෂණයෙන් පෙනී ගොස් ඇත. එයට හේතුව ලෙස පර්යේෂකයන් දක්වන්නේ ඉහළ ආදායම්ලාභීන්ට විශ්‍රාම ලැබිමෙන් පසුව වුවද ක්‍රියාශීලී සමාජශීලී ජීවිතයක් ගත කිරීමට අවකාශ සැලසීම දීර්ඝායුෂ ලැබිමට හේතුව බවය.
එහෙත් ආර්ථික තත්ත්වය යහපත් නොවන විටකදී, එවැනි මානසික හා ශාරීරික නිරෝගී බවට ඉඩ සලසන දිවි පෙවෙතක් ගත කිරීම පහසු වන්නේ නැත. එබැවින්ම අඩු ආදායම්ලාභී විශ්‍රාමිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම පර්යේෂකයෝ යෝජනා කර සිටියහ.
මේ සියලු පර්යේෂණවලින් දීර්ඝායුෂ ලැබිම පිළිබඳව එක් එක් මතවාද ඉදිරිපත් කර ඇතත්, ඒ සියල්ලෙන්ම පැහැදිලි වන එක කාරණාවක් තිබේ. එනම් ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමෙන් වයස් ගත වුවත් තරුණයකු සේ ජීවත් විය හැකි බවයි. පළමුව සඳහන් කළ පර්යේෂණයෙන් හෙළි වූ පරිදි ජීවන රටාවේ සුළු සුළු වෙනස්කම් සිදු කර ගැනීමෙන් දීර්ඝායුෂ විඳිය හැකි බවයි.