Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දොරමඩලාව නොදත් තොරතුරු බිදක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මිහින්තලය පසු කළ ඉක්බිති සුඛ නම්‍ය කාවේ‍යා්ක්ති උච්චාරණයක් සහිත දොරමඩලාව නම් ග්‍රාම නාමය දැක්වෙන නාම පුවරුවක් දැකිය හැකිය.

දොරමඩලාව නාම පුවරුව දුටු විට නිතැතින් මහාවංශයේ ඇතුළත් ද්වරමණ්ඩලකං අගා (දොරමඩලාවට ගියාය) යන පාලි පාඨය සිහිපත් වේ. පණ්ඩුකාභය කතාව සහිත මහාවංශයේ ආරම්භක පරිච්ජේද කිහිපයක් පාඨ ග්‍රන්ථයක් ලෙස කුමක් හෝ විභාගයක් සඳහා ගැඹුරෙන් හැදෑරීමට  සිදුවිය. එසේම මහින්දාගමනයට පෙර ලංකාවේ ඇදහිලි සම්බන්ධව නිදර්ශන ලෙස පණ්ඩුකාභය සමයේ තොරතුරු ඇතුළත් මහාවංශයේ පාලි ගාථා රැසක් අප එකල වන ‍පොත් කළෙමු.

වසර විසි ගණනකට පෙර මම වරක් දොරමඩලාව විහාරය නැරඹීමට ගියෙමි. විහාරස්ථානය යම් තරමකට ගල් රුකුල්ලකට බද්ධව හෙවත් පර්වත විහාරයක ලකුණු සහිත වූ බවක් අඩමානයට මතකය. ඒ හැර තවත් පුරාණ ගමකදී හමුවන නවීකරණයට හසු වූ පැරණි විහාරයකට වැඩි යමක් එහි නොවීය.

දොරමඩලාව යනු එවැනි මහාවංශයෙහි සටහන් වන අදටත් පවත්නා පැරණි ගමකි. මේ ගම්මානය විජය කුමරු ලංකාවට ගොඩබසින කාලයේත්, ජනාවාසව පැවති බවට සැක නැත.




දොරමඩලාව ගැන මහාවංශය වාර්තා කරන්නේ (මෙයින් වසර 2481 කට හෙවත් සියවස් 25 කට පෙර හෙවත්) ක්‍රිස්තු පූර්ව 474-454 අතර කාලයට සම්බන්ධ සිද්ධීන් සමගය.

එදාත් ජනාවාසව පැවති දොරමඩලාව අදත් ජනාවාසයකි.

මහාවංශ වාර්තා කරන කාලයේ උපතිස්ස නුවර ලංකාවේ අග නගරයව පැවතිණ. එකල ලංකාවේ රාජ්‍ය පාලනය කරන ලද්දේ අභය රජු විසිනි.

අභය යනු ලංකා ඉතිහාසයේ සිව්වෙනි රජුය. විජය කුමරු ලංකාවේ රාජ්‍යත්වයට පත් වන්නේ පූර්ව 543 දීය.

සත්තකින්ම මේ දොරමඩලාව අත්දැකීම ලංකා ඉපැරණි ඉතිහාසය අප විසින් ජීවමානව ස්පර්ශ කිරීමක් නොවන්නේ ද?

මහාවංශයේ දස වැනි පරිච්ජේදය ආරම්භ වන්නේ මෙසේ ය.

උම්මාදචිත්තායාණත්තා – දාසි අදාය දාරකං
සමුග්ගේ පක්ඛිපිත්වාන ද්වාරමණ්ඩලකං අගා

(උන්මාද චිත්‍රාවන් විසින් අණ කරනු ලැබූ දාසිය දරුවා රැගෙන පෙට්ටියක හොවා ගෙන දොරමඩලා ගමට ගියාය.)




මේ විස්තර කරන්නේ පණ්ඩුකාභය කුමරු සිය මයිලණුවන්ගෙන් රැක ගැනීම සඳහා රජ ගෙදරින් පිට කිරීමේ ප්‍රවෘත්තියයි. දරුවා රැගෙන යන දාසිය මුව දඩයමේ පැමිණි රාජ පුරුෂයන් විසින් නවතාලනු ලැබුවාය. යන්නේ කොහේද මේ පෙට්ටියේ කුමක්දැයි ඇසූ පැනයට දාසිය මෙසේ පිළිතුරු දෙන්නීය.

ද්වාරමණ්ඩලකං යාමි. ධීතු මේ ගුළපුවකං
ඉච්චාහ. ඔරෝපෙහී ති රාජ පුත්තා තම්බ්‍රවුං

දොරමඩලාවට යමි. පැසෙහි සිය දියණියට පැණි කැවුම් ගෙන යමි. ආදී ලෙස කී බව වාර්තා වේ. හත් හැවිරිදි කුමරු ජල ක්‍රීඩා කරනාතර, ගස් බෙනයක සැඟවී රාජ පුරුෂයන්ගෙන් ආරක්ෂා වූයේද, මේ ගමේ සිටියදී ය.

මෙසේ දොරමඩලාවේදී විවිධ උපද්‍රවයන්ගෙන් රැකුන කුමරු සොළොස් වස් පිරුණු තැන පණ්ඩුලගම වෙත පමුණුවා පණ්ඩුල බමුණා වෙතින් ශිල්ප ශාස්ත්‍ර උගත්තේ ය.

ඉන්පසුව මහාවංශ කතාවට අනුව පණ්ඩුකාභය කුමරු බල සෙනඟ රැස් කරවා මයිලණුවන් නසා අනුරාධපුර අග නගරය කොට රජවේ. මේ චරිතාපදානය පුරා අපේ වංශ කතාව ලියා තබන ස්ථාන නාම අදත් නුවර කලාවියේ ගම අතර ඉතිරිව පවතී.




මහාවංශයේ දස වැනි පරිච්ජේදයේ 27 වැනි ගාථාවේ දැක්වෙන පරිදි කුමරු පළමුවන බලමුළු රැස් කරවන ලද්දේ කාස පබ්බත නම් ස්ථානයෙහි ය. අනුරාධපුරයට ගිනිකොනින් පිහිටා ඇති මෙම ස්ථානය අද විහාරස්ථානයකි.

කොස්සෝකන්ද රජමහා විහාරය නමින් හැඳින්වේ. මරදන්කඩවල ආසන්නයෙහි පිහිටා ඇති මෙම ස්ථානයෙහි පිහිටි ගල් පර්වතය කසාගල නමින් හැඳින්වේ. මහාවංශයේ දැක්වෙන කාස පබ්බත ය මේ ස්ථානයයි.

මෙම විහාරස්ථානයෙහි පර්වතයෙහි නැගෙනහිර බෑවුමේ අනාරක්ෂිත ස්ථානයක ශිලා ලිපියක් දක්නට ලැබිණ.

මහාචාර්ය සෙනරත් පරණවිතානට අනුව ගීයෙන් ලියැවුණ පළමු සෙල් ලිපිය හමුවන්නේ මෙහිදී ය.

මහ රජහ ගමිණි

දුටුගැමුණු රජුගේ රමණි නම් බිරිය විසින් මෙම විහාරය කළ බව එම ලිපියේ දැක්වෙතැයි පරණවිතානයෝ අරුත් දක්වති. දුටුගැමුණු රජු දෙමළුන් සමග කළ සටනේ දී කසාගල අසල කඳවුරු බැඳි බවක් කියැවේ. එසේම අදත් එහි ව්‍යවහාර වන පුලියන්කුලම හා බැඳී ‍පොසොන්පුර ඒ ඓතිහාසික සිද්ධීන් හා බද්ධ බව පළාත් වාසීහු කියති.

පුලියන්කුලම වැව දුටුගැමුණු යුගයේ නිර්මාණය කරන ලදැයි මහාවංශය කියන වැව ලෙස දැක්වේ. එහෙත් මෑත කාලයක අනුරාධපුරය ප්‍රදේශයේ බොහෝ නව ජනාවාස පුර යන ආකාරයෙන් අවසන් වන ලෙස නම් තැබිමේ සම්ප්‍රදායට පුලියන්කුලම හා බැඳී ‍පොසොන්පුර නිර්මාණය වීද යන්න සැලකිය යුතු වේ.

එහිම 28 වැනි ගාථාවේ දැක්වෙන ගිරිඛණ්ඩ පබ්බත යන්න පිහිටා ඇත්තේ රීටිගල සහ කලුඑබේ අතර බවට සැක කෙරෙයි. එහිම 72 ගාථාවෙහි දැක්වෙන ලබුගම අද හැඳින්වෙන්නේ ලබුනෝරුව යනුවෙනි. කොස්සෝ කන්ද රජමහා විහාරයට ආසන්නයෙහි වර්තමාන ලබුනෝරුව පිහිටා ඇත. එය අනුමානයකි. කාලවේල යනු පණ්ඩුකාභය කුමාරයා සිය දිවි දෙවැනි කොට රැකි සේවකයෙකි. ඔහු මරා දැමූ පසුව යකෙකුව ඉපිද කුමරාව ආරක්ෂා කළේ ය.

කාලවේල යනුවෙන් නගරයෙහි පුරත්ථිම භාගයෙහි දෙවොලක් කර වූ බව මහාවංශය කියයි. ඒ දේවාලය පිහිටියේ කලුවිල බවට මහාචාර්ය සිරිමල් රනවැල්ල කියයි. කලුවිල යනු ශ්‍රාවස්තිපුර නාච්චාදූව තෙක් විහිදුන මහා මාර්ගයේ පිහිටි හිදෝගමට නොදුරුව පවත්නා කලුවිල ගම්මානයයි. එහෙත් එය අනුමානයකි. මේ කියන කලුවිල රොබට් නොක්ස් සැරිසැරූ ගමකි.

එසේම නොක්ස් සඳහන් කරන අනුරාධපුරයට ආසන්න හේනේ‍පොලගම අද ශ්‍රාවස්තිපුර ආමනේ ප්‍රදේශයේ හේනෙ‍පොලයෑගම ද යන්නත් එවැනි අනුමානයකි. විජිතපුර බළකොටුවේ තිබුණ කඩු මුවහත් කළ කඩු ගෑ ගල තවමත් එහි පවතී. එය අතින් ස්පර්ශ කළ හැකිය. ඉතිහාසය අසා ඇති කෙනෙකුට ඒ අත්දැකීම දනවන නව හැඟීම් මහා කාව්‍යයකට වඩා මනරම් නිර්මාණයක් වනු නියතය. අතීත ජනාවාසයක් ඒ නමින්ම පවතී නම් එහි මිනිසුන් තවමත් ජීවත්වේ නම් එය කොපමණ ආශ්චර්යයක් නොවන්නේ ද?

මෙම විෂයය බෙහෙවින් පුළුල් ක්‍ෂේත්‍රයක පැතිරී පවත්නා එකකි. ඉතිහාසය පුරා විද්‍යාව උරුමය යනු ඇලවී ගිය ගල් කණු බිඳී ගිය පිළිම පමණක් නොවේ. දොරමඩලාව සම්බන්ධ මෙම අත්දැකීම් වෙත සමීප වන්නකුට ඇතිවන හැඟීම අප කාටවත් විස්තර කළ හැකි නොවේ. උරුමය හා නොබිඳුන සම්බන්ධය වඩාත් අර්ථවත් වන්නේ බැඳී නැවත එකතුවන විට ය.

කෙනෙකුට මේ දොරමඩලාව එදා පැවති දොරමඩලාවමදැයි ප්‍රශ්න කළ හැකිය. ඇම්. ඩී. ගුණසේන විසින් ප්‍රකාශයට පත් කළ පූජ්‍ය කුඩාවැල්‍ලේ ධීරානන්ද හිමියන්ගේ ලංකාවේ ඓතිහාසික භූමි සිතුවම් ‍පොතේ දැක්වෙන අනුරාධපුර පූර්ව යුගයේ ගමනාගමන සිතියමකට අනුව මහාතිත්ථයේ සිට උපතිස්සගම පසුකර අනුරාධපුර දෙසට ගමන් කරන විට ච්ෙතිය පබ්බත හෙවත් මිහින්ත‍ලේට පසුව මේ කියන දොරමඩලාව සලකුණුව තිබිමෙන් මේ ගම්මානය ඒ ඓතිහාසික ගම්මානය ලෙස සැකහැර දැනගත හැකිය.

මෙකී සියලු කරුණු මත වර්තමාන දොරමඩලාව පුරාණ දොරමඩලාව යැයි මම විශ්වාස කරමි. එකී ග්‍රාම නාමය අදත් ඒ ගමට භාවිතා වන්නේ එහි අඛණ්ඩ ජනාවාසයක් පැවති නිසා නොවේද? එසේ නම් එදා පණ්ඩුකාභය කුමරු ආරක්ෂා කළ වැඩිහිටියන්ගේ සහ කුමරුන් කෙළි සෙල්ලම් කළ දරුවන්ගේ පරපුරෙන් පැවතෙන්නෝ අදත් ජීවත් වෙති? ඒ අනුමානයන් අප හදාරන, කියවන ඉතිහාසයට වඩා කොපමණ ගැඹුරු ජීවමාන අත්දැකීමක්ද?

ඉතිහාසඥ සී. ඩබ්ලිව්. නිකලස් විසින් ලියා පළ කරන ලද පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන (සෝමපාල ජයවර්ධනගේ පරිවර්තන) කෘතියෙහි පැරණි ස්ථාන වර්තමානයට ගැළපෙමින් විමර්ශනය කෙරේ.

Scroll to Top