Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඡන්දය ඉල්ලන්න එන අපේක්ෂකයින්ගේ අවධානය පිණිසයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
පාලම කඩා වැටී වසර පහකට අධික කාලයක් ගතව ඇතත් එය යළි ඉදි කිරීම කෙරෙහි බලධාරීන්ගේ කිසිදු අවධානයක් යොමු නොවීම නිසා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාගොල්ල, ගලබඩවත්ත සහ බැද්දේගම යන ගම්මානවල ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

 
වේරපිටිය,  බුලත්වත්ත ගම්මාන සහ නාගොල්ල, ගලබඩවත්ත, බැද්දේගම යන ගම්මාන එක්කරමින්  මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන කොට ගඟ හරහා බැඳ ඇති පාලම දැනට වසර පහකට පමණ ඉහත දී සම්පූර්ණයෙන් විනාශ වී ඇත්තේ අධික වැසි දිනකදී පාලම මතට විශාල ගසක් කඩා වැටීමෙනි.
 
පාලම කඩා වැටීමත් සමඟ ගම්වාසීන්ට එදා සිට මේ දක්වාම සිය ගමනාගමන අවශ්‍යතාවය සම්පුර්ණ කර ගැනීමට සිදුව තිබෙන්නේ කොටගඟ තරණය කිරීමෙනි. වැසි අධික දිනවල දී එය මරණයට අතවන්නක් වන බවත් කඩා වැටුණු පාලම අසලින් ගොඩ  නොවන්නේ නම් කිලෝමීටර් තුනක පමණ දුරක් පයින් ගොස් විකල්ප පාලමකින් ගමන් කිරීමට සිදු ව ඇතැයි ගම්වාසීන් සඳහන් කරති.
මගේ මහත්තයා වැඩ කරන්නේ තෙල්දෙණිය ඩිපෝවේ වේරපිටිය බස් රථයේ රියදුරා වශයෙන්. රාත්‍රී 7.00 ට තෙල්දෙණියෙන් පිටත්වෙන ඔහු සෑම දිනකම මෙම ගඟෙන් එතෙර වී නිවසට පැමිණිය  යුතුයි. ගමට පැමිණෙන්න වෙනත් ක්‍රමයක් නැහැ.  වැසි දිනවලදී කොට ගඟ හරහා කිසිසේත්ම ගමන් කරන්න බැහැ. එවැනි දිනවල දී ඔහු රාත්‍රිය ගත කරන්නේ බස් රථයේ. කඩා වැටුණු පාලම ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදී අපි ඉල්ලා සිටියා. බලධාරීන් මෙන්ම මහජන නියෝජිතයන් ද පාලම නිරීක්ෂණය කළා විනා එය ඉදිකිරීමට කටයුතු කළේ නැතැයි අනෝෂා කුමාරි හතුරුසිංහ (40) මහත්මිය ප්‍රකාශ කළාය.
 
චන්ද්‍රා පද්මිණී (52) මහත්මිය අදහස් දක්වමින්, මගේ දරුවෝ දෙන්නා තෙල්දෙණියේ පන්ති ගොසින් එන අවස්ථාවක අධික වර්ෂාවක් ඇද හැලෙමින් තිබුණා. දරුවන් නිවසට එන්න ප්‍රමාද ඇයි දැයි බැලීමට අප කොටගඟ දෙසට ගියා. ගගේ වතුර වැඩි වුණු නිසා ඔවුන්ට පැමිණීමට නොහැකිව ලොකු ගලක් අල්ලාගෙන සිටියා අප දැක්කා. ගම්වාසීන් එකතුවී ලණු සහ ලී දඬු යොදා ඔවුන් මේ ගොඩට ගැනීමට කටයුතු කළ. මෙවැනි අනතුරුදායක තත්ත්වයන් නිරන්තරයෙන් ම අත්විඳීමට ගම්වාසීන්ට සිදුවෙනවා.
 
අපි විදින දුක බලධාරීන් දන්නනේ නැහැ. ඔවුන් කියන්නේ පාලම හදලා දෙන බවයි. වසර පහක් තිස්සේ ඔවුන් ඒ බව කියනවා. ජීවිතයත් මරණයත් අතර ගනු දෙනුවක් තමයි අපි මේ ගඟත් සමඟ කරන්නේ.
 
ගම් වාසියකු වන පී.එච්. මහින්ද කරුණාරත්න(60) මහතා අදහස් දක්වමින්.
 
පාලම කැඩුණු අවස්ථාවේ සිටම මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට බලධාරීන් පැමිණියා. පාලම ප්‍රමුඛ අවශ්‍යතාවක් සේ සලකා එය ඉදිකරන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද අපට ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් සැලැස්මක් ද සකස් කළා. නමුත් මේ දක්වාම  පාලම ඉදිකිරීම කෙරෙහි කිසිවකුගේ හෝ අවධානය යොමුවෙලා නැහැ.  ගම්වාසීන් සිය අවශ්‍යතා සඳහා නිරන්තරයෙන්ම නගරයට පැමිණෙන්නේ මෙම ස්ථානය ඔස්සේ.
 
පාසල් දරු දැරියන් මෙන්ම ගැබිනි මාතාවන් ද ඔය හරහා එගොඩ මෙගොඩ වෙනවා. කොට ගඟ හරහා එගොඩ වුවත් එතනින් ගොඩවීමට  තිබෙන්නේ විශාල ගල් පර්වතයන් දෙකක් මැදින්. යම් භාණ්ඩයක් රැගෙන එයින් ගමන් කිරීමට හැකියාවක් නැහැ. ගැබිනි මාතාවන් පවා මෙම ස්ථානයෙන් ගමන් කරන්නේ ඉතාමත්ම අසීරුවෙන්  යැයි මහින්ද කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
 
දුන්හින්  ප්‍රාදේශීය රෝහල, තෙල්දෙණිය නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තෙල්දෙණිය ජාතික පාසල වැනි ස්ථානවලට  සිය දෛනික අවශ්‍යතා සඳහා ජනතාවට නිරන්තරයෙන්ම පැමිණීමට සිදුව තිබෙන්නේ කඩා වැටුණු පාලම සහිත මෙම ස්ථානය මතින්.
නාගොල්ල, ගලබඩවත්ත, බැද්දේගම යන ප්‍රදේශ සම්බන්ධ කරමින් ඡන්ද මධ්‍යස්ථානයක් පවා පැවැත ඇති නමුත් පාලම කඩා වැටීමත් සමඟ බලධාරීන් සිදුකර ඇත්තේ පාලම ඉදි කිරීම නොව ඡන්ද මධ්‍යස්ථානය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීම පමණක් යැයි  ගම්වාසීන් සදහන් කරති.
පාලම ඉදි නොකළත් ඉදිරි මැතිවරණයේදී අපේක්ෂකයන් වෙනුවෙන් ඔවුන්ගේ නියෝජිතයන්  මහ වැසි මධ්‍යයේ හෝ කොට ගඟ තරණය කරමින් සිය ගම්මානවලට ඡන්දය ඉල්ලා පැමිණෙනු ඇතැයි ද ගම්වාසීන් කියති.
Scroll to Top