ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 60 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියස දී පැවැත්විණි.
සඟ, වෙද, ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගය එක්කර ගනිමින් මෙරට දේශපාලන ගමන්මග තීරණාත්මක වෙනසකට ලක් කළ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 60වන ගුණ සමරුව අදට යෙදී තිබේ.
ඒ හා සමගාමීව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ දිවංගත අනුර බණ්ඩාරනායක මහතාගේ ද ගුණ සිහි කෙරිණි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් විසින් ප්‍රථමයෙන් සමාධියට පුෂ්පෝපහාර දැක් වූ අතර අනතුරු ව ජනාධිපතිතුමා සමාධිය අභියස මල් කලඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වී ය.
කථානායක කරූ ජයසූරිය සහ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ඒ.එච්.එම්. ෆවුසි, ලසන්ත අලගියවන්න, සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට එක් වූහ.
සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ අද පෙරවරුවේ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රධාන අනුශාසනාව සිදු කළහ.